අවුරුද්දට වැඩි දරුවෙකු පසු පස යමින් අම්මා බත් කවන දසුන් අපේ සමාජයේ හරිම සුලබ දසුනක්.අවම වශයෙන් දරුවාට අතින් ආහාර ගතයුතු වයස ගැන දැනුමක් පවා බොහෝ දෙමාපියන්ට නැහැ.ඒ නිසා දරුවාගේ වර්ධනයට වගේම පෞර්ෂයට සිදුවන්නේ සුලුපටු හානියක් නොවෙයි.ඒත් මේ ලිපිය කියවන අපේ ආදරණීය අම්මලාට අපි කියන්නෙ ඔයාගේ බබා ඔයා හිතනවට වඩා හරිම දක්ෂයි.ඉතින් එයාට දේවල් පුළුවන් බව බය නැතිව විශ්වාස කරන්න.ඒ සඳහා ඔයා මේ ලිපිය අනිවාර්‍යයෙන්ම කියවන්න.
ඔබත් මේ වර්ගයේ අම්මා කෙනෙක්ද?
1. “අනේ,එයාගෙ අතින් කන්න දුන්නොත් කන්නෙ නෑ,හැම තැනම වීසි කරනවා.”
2.“මම කොහොම හරි රවට්ටගෙන බත් ටික ඔක්කොම කවනවා.එයා තනියම කෑවොත් කැවෙන්නෙ නැහැ අනේ”
3. “මම ඉතින් ජොබ් එකක් කරන්නෙ නැහැනෙ.බබාට කවන්න තමා දවසම යන්නෙ”
4.මෙයාට තාම අවුරුදු දෙකයි අනේ,අතින් කන්න තේරෙන්නෙ නැහැනෙ.
ඉතින්,ඔයා දැනටමත් මෙන්න මේ වර්ගයේ අම්මා කෙනෙක් තත්වය ටිකක් බැරෑරුම්.මොකද ඔක්කොටම කලින් ඔයාට ඔයාගෙ දැනුම,වගේම පුරුදු නිවැරදි කරගන්න වෙනවා.මේ ලිපිය ඒකට උදව් වේවි.ඊට පස්සෙයි ඔයාට ඔයාගෙ බබාව නිවැරදි හැසිරීමට පුහුණු කරන්න වෙන්නෙ.ඔබ ඒ අභියෝගය බාර ගන්නවා කියන්නේ ඔබේ දරුවාගේ හැකියාවන් ඉක්මනින් බලා ගන්නත්,ඉන් සතුටු වෙන්නත් ඔබට පුළුවන්.ඔබ මේ වර්ගයේ අම්මා කෙනෙක් නෙවෙයි නම් තත්වය එච්චර අපහසු නැහැ.ඔයාට ඉක්මනින්ම අභියෝගය ජය ගන්න පුළුවන්.
අතින් ආහාර ගැනීමට සුදුසුම වයස කුමක්ද?
අපි දන්නවා සාමාන්‍යයෙන් දරුවෙක් පළමු මාස හය මව්කිරි පමණක් ලබා ගන්නා බව.ඊට පසු ඝන ආහාර පුරුදු කරන දරුවෙකු ට ආහාර තලප ලෙස ලබා දෙනවා.එහිදී මාස හයේ සිට ආහාර ගන්නා දරුවා ඉතාමත්ම ක්‍රියාශීලී කෙනෙක්.මාස හයේ සිට අටක් පමණ වන විට දරුවා ආහාර අතින් අල්ලාගෙන කෑමට ප්‍රිය තාවක් දක්වන අතර මෙම වයස දරුවාගෙන් දරුවාට වෙනස් වෙන්න පුළුවන්. එය බලෙන් හුරු කිරීම සුදුසු නැහැ.නමුත් දරුවාගේ උනන්දුව මත ක්‍රම ක්‍රමයෙන් එයට හුරු කරන්න පුළුවන්.නමුත් ඔබේ දරුවා වයස අවුරුද්දක් ගතවීත් ඔහුට /ඇයට ඔබ අතින් ආහාර ගැනීමට ඉඩ නොදෙනවා නම් එය විශාල ගැටළුවක්.ඒ නිසා මාස අට පමණ වන විට සම්පූර්ණ ආහාර වේල නොව ඉන් කුඩා කොටසක් හෝ අතින් ගෙන තනිවම අනුභව කිරීමට දරුවාට හැකි නම් එය දරුවාගේ වර්ධනයේ සුවිශේෂ කඩ ඉමක් විදියට හඳුන්වන්නට පුළුවන්.
අතින් ආහාර ගැනීමට දරුවාට ඉඩ දිය යුතු ඇයි?
එය දරුවාගේ චාලක හැකියාවන් වර්ධනය කෙරෙහි බෙහෙවින් බලපානවා.ඇස් සහ අත අතර සමබරතාවය හසුරුවා ගැනීමට මෙන්ම වගකීමෙන් යුතු ක්‍රියාවක නියැලීමටද පුහුණුවක් දරුවාට ලැබෙනවා.සැපීම,තමන් විසින් මුවට දමා ගන්නා ලද ආහාරයේ රස,සුවඳ,පැහැය,හැඩය,ස්පර්ශය ආදිය ගැන සංවේදී වීම ආදිය නිසා දරුවාට ලැබෙන උත්තේජනය ඉතාමත්ම ප්‍රබලයි.
ඒ වගේම දෙමාපියන් හැන්දෙන් කැවීමේදී දරුවාට ආහාරය වින්දනය කිරීමට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ.ඒ අනික් කටත් ඉක්මනින්ම කවා දැමීමට ඔවුන් උත්සාහ කරන නිසා.එහිදී දරුවාගේ ක්‍රියාකාරීත්වය තිබෙන්නේ ඉතාමත්ම අවම මට්ටමක.නමුත් සිය අතින් අල්ලා ආහාර මුවට දමා ගැනීමේදී එය සැපිය යුතු,ගිලිය යුතු වේගයේ සිට තමන්ට අවශ්‍ය ආහාර ප්‍රමාණය කුමක්ද කියා තීරණය කිරීමටත් දරුවාට අවස්ථාව ලැබෙනවා.ඒ නිසා අනවශ්‍ය ලෙස තරබාරු වීමෙන් මිදී ලෙඩදුක් රැසකින් මිදීමට හැකියාව ලැබෙනවා.
අතින් ආහාර ගැනීමට දරුවා හුරු කිරීමේදී මේ ක්‍රම වැදගත් වේවි.
1.දරුවාට ආරක්ෂිතව වාඩිවී සිටීමට ෆීඩින් චෙයා එකක්-
එය අලංකාර වර්ණයකින් යුතු පිරිසුදු එකක් වීම හරිම වැදගත්.ඒ වගේම ආහාර ගැනීමේදී ආරක්ෂිතව එහි සිටින බවට තහවුරු කර ගන්නත් ඕනා.නැත්නම් දඟකාර වයසේ දරුවන් එහෙ මෙහෙ දුවමින් ආහාර ගන්නවා බොහෝවිට දකින්න පුළුවන්.එලෙස නොවි ආහාර ගැනීම එක තැනක සිට පිළිවෙලකට කරන දෙයක් බවට හුරු කරවීම ආරම්භයේ සිටම හරිම වැදගත්.
2.ලස්සන කෑම පිඟන් කිහිපයක්
දවසින් දවස විවිධ වර්ණයන්ගෙන් යුතු කෑම පිඟන් කිහිපයක් කෑම පිළිගැන්වීම සඳහා තබා ගැනීමෙන් ඒකාකාරී බවක් දැනීම වලක්වා ගන්න පුලුවන්.අත පිස්නාව,වතුර කෝප්පය ආදී සියලුම උපකරණ වලට මේ ක්‍රමය අනුගමනය කරන්න පුළුවනි.
3.විවිධ රසයෙන්ම,විවිධ වර්ණයෙන්,විවිධ හැඩයෙන්
ඇත්තටම මේ සඳහා මීල් ප්ලෑන් එකක් හදා ගන්න පුලුවන් නම් ඔබට වඩාත් පහසුයි.එතකොට ඒ ගැන ලියවෙන නිසා එකම ආහාරය හැමදාම දෙන්න වෙන්නෙත් නැහැ.පොඩ්ඩා හරිම ආසාවෙන් කෑම ගනියි.ඔයා චෙෆ් කෙනෙක් ද කියලා ඔයා හිතෙන තරමටම ඔයාට මේ ගැන ඉගෙන ගන්න දේවල් තියේවි.
4.කියවන්න,අප්ඩේට් වෙන්න
මේක තමා මේ සියල්ල තරමටම වැදගත් කාරණාව.ඔබ කියවන තරමට,දැනුවත් වන තරමට ඔබේ කාර්‍යය හරිම පහසු එකක් බවට පත් වෙනවා.ඒ වගේම ඉවසීම වර්ධනය කරගන්නත්,අනෙක් අයගේ අත්දැකීම් ගැන දැන ගන්නත් ඒක උපකාරී වේවි.