hit counter code

තම නිවස තුළදී ම සොයුරා අතින් බරපතල අපයෝජනයට ලක් වූ බාලවයස්කාර නැගණිය

Share on facebook
Facebook
Share on whatsapp
WhatsApp
Share on pinterest
Pinterest

(මධ්‍යම පළාතේ මහනුවරට ආසන්න උසාවි භුමියක විභාග වූ නඩුවක් සම්බන්ධයෙන් නීතිඥ කණ්ඩායමේ නීතිවේදිනියක විසින් ලබාදෙන සත්‍ය කතාවකි. ඉතා සංවේදී සිදුවීමක් බැවින් කතාවට සම්බන්ධ අයගේ නම හෙළි නො කෙරේ.)

මෙවන් සත්‍ය කතා ඔබ හමුවේ ගෙන එන්නේ දෙමව්පියන් නිවසේ සිටින තම දරුවන් ගැන ඉතා සැලකිල්ලෙන් පසුවිය යුතු බව ඔබට තරයේ සිහි කැඳවීමේ අරමුණිනි.

නිමල් මෙන්ඩිස් සහ ලංකා මෙන්ඩිස් තමන්ගේ ජීවිතයේ අරමුණු සපුරා ගත්තේ උත්සාහය සහ කැපවීම නිසා.සරසවියේ දී මුණ ගැසී ආදරය කළ ඔවුන් දෙදෙනා තමන්ට හැකි උපරිම අයුරින් අධ්‍යාපනය හැදෑරු යුවළක්.විවාහ ජීවිතය යනු අත නෑර එකිනෙකා දරා ගැනීම බව විශ්වාස කරමින් තමන්ගේ ලෝකය තමන්ට උවමනා අන්දමට ගොඩනඟා ගන්නට ඔවුන් දැඩි උත්සාහයක් ගත්තා.වසර දහනවයකට පෙර විවාහ වූ නිමල් සහ ලංකා මේ වෙනවිට ගතකරමින් සිටියේ ඉතා සුන්දර ජීවිතයක්.සාමාන්‍ය සමාජයට ඉතා සුන්දරව පෙනෙන පරිපූර්ණ ජීවිතයක් ඔවුන්ට අයත්ව තිබුණා.ඉහළ සමාගමක හොඳ නිලයක් හෙබවූ නිමල් ද රජයේ ආයතනයක ඉහළ නිලයක කටයුතු කළ ලංකා ද මේ වෙද්දී ජීවිතයට අවශ්‍ය බොහෝ දේ උපයාගෙන අවසන්.කොළඹට නුදුරින් සුන්දරව ගොඩනැගූ නිවසක් ද මෝටර් රථයක් ද ඔවුන් සතු වුණා.

එහෙත් ඔවුන්ගේ ජීවිතය වර්ණවත් වූයේ ඒ නිසාම නෙවෙයි.ඒ සිත්මි සහ සිතුම් නිසා.විවාහ වී දෙවසරක් ගත වන්නට පෙර ඔවුන් සිතුම්ගේ මව්පියන් වූ අතර නැගණිය සිතුම්ට වසර හතරකින් ළාබාල වුණා.

මේ කතාව කියැවෙන කාලයේ සිතුම් දාහත් හැවිරිදි යෞවනයෙක් වූ අතර සිත්මිට දහතුන් විය ලැබුවා පමණයි.අගනුවර පාසල් දෙකක අධ්‍යාපනය ලැබූ ඔවුන්ගේ අධ්‍යාපන මට්ටම ගැන දෙමාපියන්ට කිසිම වේලාවක කනසල්ලක් තිබුණේ නැහැ.නමුත් උසස් පෙළ ඇරඹීමත් සමග සිතුම් යම් පසුගාමී ස්වභාවයක් අධ්‍යාපන කටයුතු සම්බන්ධයෙන් දරන බව ලංකාට හැඟෙන්නට පටන් ගෙන තිබුණා. උසස්පෙළ ගණිත අංශයෙන් අධ්‍යාපනය හදාරන්නට වීම නිසා ඔහු දැඩි අධ්‍යාපනික පීඩනයක හිඳිනවා වන්නට ඇතැයි ඇය විශ්වාස කළා.දරුවන්ට අවශ්‍ය නිදහස නිසිසේ ගන්නට ඉඩ හැරි ලංකා සහ නිමල් ඔවුන්ව කිසිම මොහොතක අවිශ්වාස කළේ නැහැ.සිතුම්ගේ කාමරයට යාම අතැර දමන්නට පවා ඔවුන් ක්‍රියා කර තිබුණේ නව යෞවනයකු ට අවශ්‍ය නිදහස ඔහුට තිබිය යුතු බව විශ්වාස කළ නිසා.

සියල්ල යහපත්ව පවතින බව සිතුවත් ඔවුන්ගේ ලෝකය යළි ගොඩ නැගීමට අපහසු ලෙසින් බිඳී ගියේ නොසිතූ අවස්ථාවක.මෙන්ඩිස් යුවළ නීතිඥ උපදෙස් පතා පැමිණෙන්නේ හිස මත විශාල බරක් තබා ගෙන. මේ ඒ ගැන නීතිවේදිනිය පවසන කතාවයි.

විශාල ගැටලුවකට මැදි වී අප සොයා පැමිණි ඔවුන් දෙදෙනාට කතා කිරීමට පවා අපහසු බව අපට තේරුම් ගියා.ඉතා අමාරුවෙන් වචන සොයාගත් ඔවුන් අපව සසල කරමින් එක් දෙයක් පවසා සිටියා

“අපේ දුවට අවුරුදු දහතුනයි.එයාට බබෙක් ලැබුණා.”

ලමා දූෂණය අපේ වෘත්තිය තුළ නුපුරුදු අත්දැකීමක් නොවේ.සාමාන්‍යයෙන් මෙවැනි සිද්ධියක් ගැන අසන්නට ලැබෙනවාට වඩා ඉතා දරුණු සිදුවීමකට අපි මුහුණ පාමින් සිටින බව අප තේරුම් ගත්තේ ලංකාගේ ඊළඟ වචන කිහිපය නිසා.ඉකිගසා හඬමින් ඇය පැවසුවේ අදහන්නට අසීරු කතාවක්.

“මමයි මහත්තයයි දුවයි පුතයි හැමදාම හවසට මිදුලෙ බෙන්ච් එකට වෙලා තේ බොනවා. මේ කියන දවසෙත් අපි හවස වෙලාවක තේ බිබී හිටියෙ ..මොනවහරි කතාවක් කියල අපි හොඳටම හිනා වුණා.ඒ අතරෙ දුව මොකක්හරිම කතාවකට හිනාවෙලා උත්තරයක් දීගෙන ඉඳගෙන හිටිය බෙන්ච් එකෙන් නැගිට්ටා.මම මේ කියන දේ විශ්වාස කරන්නත් බැරි වෙයි.”

ඒ වචන කිහිපය පිට කරගන්නට ක්‍රමයක් සෙවූ ඇය ඉංග්‍රීසි භාෂාවෙන් මේ අමිහිරි කතාව පවසා සිටියා.

“You won’t believe the newborn had apparently slipped through her legs while standing”

සැබැවින්ම අපටද ඒ  දේ අදහා ගන්නට බැරි වුණා.දැරිය ගේ දෙකකුල් අතරින් බිලිඳෙකු වැටී තිබුණේ රුධිරය සමඟ.අලුත උපන් දරුවකු බවත්,ඒ දරුවා බිහි වූයේ ඒ මොහොතේ බවත් වටහා ගනිද්දී දෙමාපියන්ට සිහි එලවා ගන්නට බැරුව ගොස් තිබුණා.

දෑස් මත තබා රැක ගත් දියණියට එවැන්නක් සිදුවූයේ කෙසේදැයි තර්ක කරමින් හිඳින්නට ඔවුන්ට හැකි වී තිබුණෙ නැහැ.මෙන්ඩිස් යුවල වහාම දියණියව රෝහල්ගත කර තිබුණු අතර මේ බාලවයස්කාරියක වීම නිසා අලුත් මව සහ දරුවා පරිවාස ගත කරන්නට රෝහලෙන් ක්‍රියාත්මක වී තිබුණා.දැන් දූෂණ නඩුවක් ක්‍රියාත්මක වන නිසා මෙන්ඩිස් යුවලට අපේ උපකාර අවශ්‍ය වී ඇති බව අපි තේරුම් ගත්තා.

දෛවය සරදම් කරන්නේ ඇතැම් විට අප සිතනවාටත් වඩා දරුණු ලෙසටයි.ඔවුන්ට අපේ උපකාර අවශ්‍ය වූයේ පැමිණිල්ලේ පාර්ශ්වයෙන් පමණක් නොවේ.විත්තියේ පාර්ශ්වයෙන් ද ඔවුන්ට අපේ උදව් උපකාර අවශ්‍ය වුණා.

සිත්මිගේ දරුවාගේ තාත්තා කවුද?

ප්‍රශ්න කිරීම් මත ඒ අන් කිසිවකුත් නොව සිතුම් බව දැනගන්නට ලැබීම මෙන්ඩිස් යුවල දිවි නසා ගන්නා තත්ත්වයක් නිර්මාණය කිරීමට හේතු වී තිබුණා.

දරුවන් කුඩා කාලයේ ඔවුන් දිවා සුරැකුම් මධ්‍යස්ථාන වලත් ඉන්පසු සේවිකාවක සමඟත් තැබූ නමුත් ඔවුන් උස් මහත් වද්දී සිතුම්ට නැගණිය රැක බලා ගැනීම පැවරීමට දෙමාපියන් තීරණය කර තිබුණේ මෙවන් විපතක්  ගැන සිහිනයකින්වත් සිතා නොවේ.

“දරුවා ගැන පොඩි සැකයක්වත් දැනුණේ නැද්ද?”

දියණියගේ ගර්භණීභාවය ගැන අප ලංකා මහත්මියගෙන් එසේ විමසුවා.පුෂ්ටිමත් දියණියක වූ සිත්මි ගැන එවන් කුඩා සැකයක්වත් ඔවුන්ට පහළ වී තිබුණේ නැහැ.තමන් එවැනි තත්ත්වයක බව සිත්මි ද දැන සිට නැහැ.දරුවා බිහි වීමට දින කිහිපයකට කලින් ඇය උදරාබාධයක් ගැන පැමිණිලි කර තිබුණා.පවුලේ වෛද්‍යවරයා වෙත ගෙන ගිය සිත්මිට ගෑස්ට්‍රයිටිස් සඳහා ඔසු ලැබී තිබුණා.

පර්යේෂණවලින් සිත්මි ගේ දරුවාගේ පියා සිතුම් බව අනාවරණය කර ගත් පසු එසේ වීමට හේතු ද අනාවරණය කරගන්නට අපට හැකි වුණා.

මෙන්ඩිස් යුවළ නොදැන සිටියාට සිතුම් දැඩිව මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වී තිබෙන්නේ ටික කාලයකට පෙර.ඒ අතර ඔහු අසභ්‍ය වීඩියෝ පට නැරඹීමට දැඩිව ඇබ්බැහි වී තිබුණු බව සොයා ගැනුණා.ඒ වීඩියෝ පට නැරඹීමෙන් ඔද්දල් වූ මනසින් යුතුව ඔහු දිනක් තමන්ගේ සහෝදරිය දුෂණය කර තිබුණා.නමුත් මේ එක් දිනක් පමණක් සිදු වූ සිදුවීමක් නොවේ.ඉන්පසු දිගින් දිගටම ලිංගික ක්‍රියාවලියේ යෙදෙන්නට ඔහු තමන්ගෙ නැගණිය පොළඹවාගෙන තිබුණා.

වෛද්‍ය වාර්තාවලට අනුව සිතුම් මානසික රෝගී තත්ත්වයකින් පෙළෙන වග කවුරු කර ගන්නට අපේ නීතිඥ කණ්ඩායමට හැකි වුණා.නැගණිය දූෂණයකින් අනතුරුව දරුවකු ලබා සිටි අතර අයියා මානසික රෝගියෙකු වී දුෂකයෙකු බවට පත්ව සිටිනවා.සිදු වූ දෙයින් දැඩි ලෙස කම්පා වූ මෙන්ඩිස් යුවලට දරුවන් දෙදෙනාම නිදහස් කරගන්නට දැඩි වුවමනාවක් තිබුණා.සිතුම්ට මානසික රෝගී ප්‍රතිකාර ලබාදෙන අතර නඩුව ඉහළ ඉහළ උසාවියට යොමු කරන්නට නීතිපති උපදෙස් ලැබුණා.සිතුම් පරිවාසයට යොමුකර ඇතත් ඔහු වයස 18 ට අඩු වීමත් මානසික රෝගයකින් පෙළීමත් යන ව්‍යාතිරේක ඔස්සේ ඔහු නිදහස් වීමට වැඩි ඉඩක් තිබෙනවා.අවශ්‍ය මානසික සහ කායික ප්‍රතිකාර ලබාදීමෙන් පසුව සිත්මි දෙමාපියන් බාරයට යොමු කෙරුණා.

Sun of the gun ලෙස අපේ නීතිඥ කණ්ඩායම හඳුන්වන බිලිඳා පරිවාස භාරයට පත් කෙරුණු අතර එවන් අහඹු උපතක් ලැබූ නමුත් ඔහු කිසිම රෝගයකින් පෙළුනේ නැහැ.බිලිඳා ඉතා යහපත් සෞඛ්‍ය තත්වයෙන් පසුවන බව වෛද්‍යවරු අපට තහවුරු කළා.දරුවා කුලවැද්දීමට කැමති යුවලක් පරිවාසයෙන් අපට හඳුන්වාදුන් අතර අපි බිළිඳාගේ සැබෑ තත්ත්වය ඔවුන්ට හෙළිදරව් කළේ ඒ යුතුකමක් වන නිසා.වෛද්‍ය පරීක්ෂණවලට භාජනය කර දරුවාට යම් කිසි ජානගත රෝග ඇත්දැයි පරික්ෂා කරන්නට ඒ යුවල උත්සුක වූයේ බිලිඳා සහෝදරයෙකුගේ සහ සහෝදරියකගේ දරුවකු වන නිසා.නමුත් ඉරණම ඒ දරුවාට කිසිම අසාධාරණයක් කර තිබුණේ නැහැ.ඒ ඉතා නිරෝගී දරුවෙක්.කුලවද්දා ගැනීමේ නඩුව බොහෝ ඉක්මනින් අවසන් කරන්නට අපට හැකි වූ නිසා බිළිඳාට දැන් නව දෙමාපිය යුවළක් සිටිනවා.

සිත්මි දැන් නැවත අධ්‍යාපනය ලබන අතර සිතුම් තවම පසුවන්නේ පරිවාස භාරයේ.ඔහු නිදහස් වී එනතුරු මෙන්ඩිස් යුවළ මග බලන අතර ඉන්පසුව ඔහු පූර්ණ සුවපත් භාවයට පත් කරගෙන විදෙස් රටක් වෙත යැවීමට ඔවුන් අපේක්ෂා කරනවා.

“දරුවො දෙන්නම වැරදි නෑ.මෙතන වැරදි අපි.හැම සැප සම්පතක්ම දුන්නට අපි දරුවෝ ගැන හොයන බලන එක අත් ඇරියා.අපි අපිටම වෛර කර ගන්නවා.දරුවන්ට ආදරේ කරපු තරමටම එයාල ගැන හොයලා බැලුවා නම් මේ වගේ විනාශයක් වෙන්නෙ නෑ”

ඔවුන් අදටත් අප සමග පවසන්නේ එපමණයි.

බාලවයස්කරුවන් තිදෙනෙක්ගේ ජීවිත එසේ විසඳී තිබෙනවා.මෙය නීතිමය අතින් විසඳී තිබුණත් සැබෑ ඛේදවාචකයක්.දරුවන්ට නිවැරදි ලිංගික අධ්‍යාපනය ලබාදීම ඉතා වැදගත් වන්නේ මෙනිසා.සිත්මිට එය ලැබී තිබුණා නම් පළමු වතාවේ අපහරණය වූ පසු හෝ ඇය එය හෙළි කරන්නට පැකිලෙන එකක් නැහැ.තමන්ගේ සිරුරට අයියා සිදුකරන දේ ගැන පවා ඇයට වැටහීමක් තිබී නැති බව ඇයට ප්‍රතිකාර කළ වෛද්‍යවරුන් අපට ප්‍රකාශ කර සිටියා.

ඔබට දරුවන්ට සෑම සැප සම්පතක්ම ලබා දෙන්නට පුළුවන්.නමුත් ඉතා සුළු අවස්ථා විශාල කඩතොලු නිර්මාණය කරනවා.එනිසා දරුවන් සම්බන්ධයෙන් සෑම විටම විමසිලිමත් වන්න.

තොරතුරු ලබාදීම – නීතිවේදී බුද්ධිනී දයාරත්න (Attorney-at-Law)

Share on facebook
Facebook
Share on whatsapp
WhatsApp
Share on pinterest
Pinterest

Latest Articles

සෙම තියෙන දරුවො නාවන්න හොඳ නැද්ද ?

සෙම් රෝග, හෙම්බිරිස්සාව, කැස්ස මේ දවස්වල හැමතැනම. ඔබේ දරුවා පෙර පාසල්/පාසල් යන...

Read More

බබාගෙ බර වැඩිකරන්න ලංකාවේ රසට – බිස්කට් වෙනුවට පෝෂ්‍යදායී සීරියල් බාර්

මේ වන විට දියවැඩියාව වැනි බෝ නොවෙන රෝග දරුවන් අතරත් ව්‍යාප්ත වෙමින්...

Read More

දරුවා නාසයේ යමක් සිරකරගෙන නම් කළයුතු දේ ගැන ඔබ දැනුවත්ද ?

බබාලා හැමදේම ගැන කුතුහලයෙන් නෙ ඉන්නෙ. ඒ නිසා තමයි එයාල හැම වෙලේම...

Read More

Related Posts

Parenting

පුංචි පැටියට පෙර පාසලක් සොයනව ද ?

මල් පිපි ඵලබර වූ ගසක් සශ්‍රීයව පලබර වන්නේ  එහි මූල පද්ධතිය ශක්තිමත් නම් පමණි. දෙමාපින්ගේ  වටිනාම සම්පත වන්නේ දරුවන්ය. දරුවන්ගේ අනාගතය පැහැබර කිරීම දෙමාපියන්ගේ ප්‍රධාන

Read More »
Parenting

දරුවාට වෙනත් භාෂාවක් උගන්වන්නේ කොහොමද?

දරුවන්ට නිවසේ පාවිච්චි කරන භාෂාවට අමතරව වෙනත් භාෂාවක් උගන්වන්න පුලුවන්ද? ඒ සඳහා සුදුසුම කාලය මොකක්ද? අද ලිපිය ඒ ගැන.දරුවන්ට භාෂා කිහිපයක් ඉගෙන ගන්න හැකියාවක් තියෙනවා.

Read More »
Parenting

ප්‍රසූත වේදනා දැනෙන තුරු ම ගර්භනී බව නොදැන සිටි මවක්

ඒ සාමාන්‍ය දවසක්. සිල්ලර බඩු වෙළඳ සැලකට ගොස් සිටි කාන්තාවක් හදිසියේ අසනීප ගතියකට ලක් වුණේ නොසිතූ ලෙසට. ඉන්පසුව, ඇය ඒ අසල පිහිටි සුපිරි වෙළඳසැලක වැසිකිලිය

Read More »