අලුත උපන් බිලිඳෙක්ට තමන්ට දැනෙන දේවල් වචනවලින් කියන්න හැකියාවක් නැහැ. ඒ නිසා බිලිඳාගේ කුඩා හැසිරීමක් ගැන පවා මවුපියන් සිටින්නේ දැඩි අවදානයකින්. බොහෝ වෙලාවට මවු කිරි බිව්වාට පස්සේ බිලිඳාට ඇතිවෙන වමනය ගැන මවුවරුන් කලබල වෙනවා. බිලිඳු වයසෙදි දරුවාට ඇතිවෙන මේ කිරි වමනය ගැන ඇත්තටම බිය විය යුතු ද කියන ප්‍රශ්නය ගැන අපි කතා කරමු.
මොකක්ද මේ කිරි වමනය?
අලුත උපන් බබාට මාස හයක් යනතුරු දෙන්නේ මවුකිරි විතරයි. එයාට මුල් කාලයේදී නිවැරදි විදිහට මව් කිරි උරා බොන්න හුරුවක් නැහැ. ඒ වගේ ම සමහර අවස්ථා වලදී දරුවා කිරි උරාබොන්න උත්සහ කරන්නේ වැරදි ඉරියව්වක සිටින අතරේ. මේ නිසාම බොහෝ වෙලාවට මව් කිරි උරා බොන අවස්ථාවේදී අවට වාතයත් දරුවාගේ ආහාර මාර්ගය ඔස්සේ ආමාශයට ඇතුල් වීම සිද්ධ වෙනවා. ආමාශයට ඇතුල්වෙන වාතය එහි ඉහළ කොටසෙයි රැඳී තියෙන්නේ. ටිකෙන් ටික අමාශය පිරෙද්දි බිලිඳාගෙ සිරුර මේ පිරුණු වාතය ඇඟෙන් ඉවත් කරවන්න උත්සහ කරනවා. ඒ නිසා ආමාශයේ වැසී තිබෙන කපාට විවෘත වීමෙන් ආහාර මාර්ගය දිගේ ඉහළට මේ වාතය පැමිණෙනවා. මේ ආකාරයට ආමාශයේ පිරුණු වාතය එලියට යද්දි ඒත් එක්කම කිරි ස්වල්පයකුත් එළියට එන්න ඉඩ තියෙනවා. ඒ අවස්ථාවේදීයි දරුවාට කිරි වමනය ඇති වෙන්නේ. කිරි බිවුවාට පස්සේ සමහර වෙලාවට ළපටියාගේ කටෙන් කිරි ස්වල්පයක් එළියට එනවා ඔබ දැක ඇති. මෙය අලුත උපන් ළදරුවන්ගේ දකින්න පුළුවන් සාමාන්‍ය තත්ත්වයක්.
කිරි වමනය වළක්වා ගන්නට නම් කළ යුත්තේ කුමක් ද ?
මේ වගේ සිදුවීමක් වළක්වාගන්න නම් කිරි දුන්නාට පස්සේ මව විසින් බිලිඳාට සාමාන්‍ය කිරි වමනය ඇති කරවන්න ඕන. අපි ‘ ගුඩුස් යවනවා ‘ ( burping ) කියා හඳුන්වන්නේ මේ ක්‍රියාව. ගුඩුස් යැවීම මගින් සිද්ධ කරන්නේ ළදරුවාගේ කිරි උරන අවස්ථාවේදි ආමාශයේ එකතු වෙන වාතය ඉවත් කරවීම. ඒ විදිහට වාතය ඉවත් වුණාට පසුව දරුවා කිරි වමනය කරාවි කියා බිය වෙන්න අවශ්‍ය වන්නේ නැහැ.
නිවැරදි ව burp කරන්නේ කොහොමද ?
ගුඩුස් යැවීම සිද්ධ කරන්න ආකාර කිහිපයක් ම තියෙනවා – ( Burping Methods )
• පලමු ක්‍රමය
බිලිඳාව උරහිසට අරගෙන වඩා ගන්න. මේ වෙලාවේ බිලිඳාගෙ නිකට මවගෙ උරහිසේ ගෑවෙන විදිහට තියෙන්න ඕනි. ඒ වගේ ම මවගෙ එක අතකින් දරුවාගෙ කොන්ද, හිස, බෙල්ල ඍජුව තියෙන විදිහට ආධාරයක් ලබා දෙන්න අවශ්‍යයි. මීලඟට දරුවාගේ බඩ ප්‍රදේශය මවගෙ ඇඟට තද වෙන විදිහට තබාගෙන විනාඩි කිහිපයක් කොන්දට සෙමෙන් තට්ටු කරන්න.
• දෙවන ක්‍රමය
එහෙම නැත්නම් මව පුටුවක ඉඳගෙන දරුවාව උකුල උඩ වාඩි කර ගන්න. මීලඟට දරුවාගේ බඩ එක අතකට තද වෙන විදිහට තියාගෙන අනෙක් අතෙන් සෙමින් කොන්දට තට්ටු කරන්න.
මේ විදිහට විනාඩි කිහිපයක් සිදු කරද්දී දරුවාට ගුඩුස් යාම සිද්ධ වෙනවා. ගුඩුස් යවලා සාමාන්‍ය ඔක්කාරය ඇති කෙරෙව්වාට පස්සේ දරුවාව නිදි කරවන්න පුලුවන්.
කිරි වමනයට බය වෙන්න ඕනෙ මොන වෙලාවට ද?
සමහර අවස්ථාවලදී ආමාශයේ පිරෙන වාතය වැඩිපුර එක් රැස් වීම නිසා හදිසියේම කිරි විශාල ප්‍රමාණයක් එක්කම වාතය පිටතට පැමිණෙන්න පුලුවන්. එවිට ළදරුවාගේ කටින් කිරි පිටතට විදින්න ඉඩ තියෙනවා. ( Projectile Vomiting ) මේ වගේ අවස්ථාවක් භයානක වෙන්න පුලුවන්. එයට හේතුව ආහාර මාර්ගය දිගේ පිටතට එන කිරි ළදරුවාගේ ස්වසන මාර්ගයට ඇතුල් වෙන්න පුළුවන් කමක් තිබීම. ඒ වගේ දෙයක් සිද්ධ වුණොත් එය දරුවාගේ ස්වසනයට බාධා ඇති කරවනවා.
අධික කිරි වමනයකදී කළ යුත්තේ කුමක්ද ?
යම් අවස්ථාවකදි දරුවා කිරි ඈතට විදින විදිහට කිරි වමනය කරනවා නම්, හැකි ඉක්මනින් මෙන්න මේ ක්‍රියාමාර්ග ගන්න ඕනි.
බිලිඳාව ඔබ සිටින ඇඳේ පැත්‍තකට හරවන්න. දරුවාගෙ හිස ප්‍රදේශය පහළට සිටින විදිහට කකුල් දෙකම තරමක් ඉහළට ඔසවා පිරිසිදු රෙදි කඩකින් කටත් නාසයත් පිස දමන්න. ඉන් පසුව දරුවාගේ යටිපතුලට ඔබේ මහපට ඇඟිල්ලෙන් පීඩනයක් ලබා දී දරුවාව අඬවන්න. ඉන්පසු දරුවා ඉහලට වඩා ගන්න.
කිරි එලියට විදින ආකාරයට කිරි වමනය යාමකින් පස්සේ දරුවාගේ සමේ පැහැය වෙනස් වීමක් හෝ දරුවා හුස්ම ගැනීමට අපහසුවක් දක්වනවා නම් හැකි ඉක්මනටම රෝහල වෙත ගෙන යාම වැදගත්.
මෙහිදී මතක තබාගතයුතු කාරණය තමයි, කිරි උරා බොන අවස්ථාවේදී ළදරුවාට ඇතිවෙන කිරි වමනයට බියවිය යුතු නැහැ. එය බොහොම සාමාන්‍ය තත්ත්වයක්. දරුවාට සාමාන්‍ය කිරි වමනය, එහෙම නැත්නම් ගුඩුස් යැවීම සිද්ධ වෙනවා කියන එකෙන් අදහස් වන්නේ දරුවාගේ ආහාර ජීර්ණ පද්ධතිය නිවැරදි ආකාරයෙන් ක්‍රියාත්මක වෙන බවයි. ඒ නිසා මවුකිරි ලබා දුන්නාට පසු දරුවාට ගුඩුස් යැවීමට උදව් කිරීම මවගේ වගකීමක්.