අලුත උපන් දරුවාට මුල් මාස හය තුළ ‘මවුකිරි පමණක්ම’ දිය යුතු බව වෛද්‍ය නිර්දේශයයි. මවුකිරිවලට අමතරව කිසිදු දියර වර්ගයක්; අවම වශයෙන් ජලය වත් දරුවකුට නොදෙන ලෙස මවට උපදෙස් ලැබෙයි. එයට හේතු ගණනාවක් ඇත. ඒ සියල්ල ගැන දැනුවත්ව සිටීම අලුත් අම්මා කෙනෙකුට දරුවා සමග කටයුතුවලට වඩා පහසුවක් ඇති කරයි.
උණුසුම් දිනවල වතුර දෙනවා ද?
මුල් මාස 6 තුළ දරුවා වැඩෙන්නට අවශ්‍ය කරන සියලුම පෝෂක කොටස් මව්කිරි තුළ තිබෙනවා. ඒ නිසා කිසිම දෙයක් අමතරව ලබාදිය යුතු නැහැ. දරුවෙකු වැඩෙන්නට අවශ්‍ය කරන අධි පෝෂණ ගුණයක් මව්කිරි තුළ අඩංගු වෙනවා. සාමාන්‍යයෙන් ඔය මාස හයේදී මවුකිරි පමණක් බොන දරුවකුගේ බර වැඩි වීම ඉතා සීඝ්‍රයෙන් සිදුවෙනවා. සාමාන්‍යයෙන් මාසයකට කිලෝ එකකටත් වඩා වැඩි අගයකින් දරුවා බරින් වැඩි වෙනවා. ඒත් මවුකිරිවලට අමතරව ජලය හෝ වෙනත් දියර වර්ග දරුවාට ලබා දෙනවා නම් මව් කිරි වලින් ලැබිය යුතු මේ අධි පෝෂණ ගුණය නොලැබී දරුවාගේ වර්ධනය අඩාල වන්නට පුළුවන්.
තද උණුසුම් දිනවලදී මව්කිරිවලට අමතරව දරුවාට ජලය ලබා දිය යුතු යැයි කිසිසේත්ම සිතිය යුතු නැහැ. මව් කිරිවල සංයුතියෙන් සියයට අසූ හතක් (87%) පමණ තිබෙන්නේ ජලය. ඉතාම අධික උණුසුම් දිනයකදී වුවත් දරුවාගේ ජල අවශ්‍යතාවය සම්පූර්ණ කරන්නට මව්කිරිවලට පුළුවන්. අම්මා කෙනක් දරුවකුට මව්කිරි ලබාදීමේ දී අමුතුවෙන් විශේෂ සූදානමක් විය යුතු නෑ. දරුවා ඉල්ලන්නේ මොන වෙලාවක ද? ඒ ඕනෑම අවස්ථාවක පෙර සූදානමකින් තොරව පහසුවෙන්ම දරුවාට මවුකිරි දෙන්න මවකට පුළුවන්. නමුත් වෙනත් අමතර දියරයක් දරුවාට ලබා දෙනවා නම් ඒ සඳහා ගන්නා භාජන ඉතා හොඳින් පිරිසිදු කරන්නට විසබීජහරණය කරන්නට අමතර කාලයක් ගන්නට සිදු වෙනවා. ලබා දෙන කෙනාගේ දෑතත් ඉතාම හොඳට පිරිසිදුව තිබිය යුතුයි. කොතරම් හොඳින් පිරිසිදු කළා යැයි සිතුවත් පිටතින් ලබාදෙන දියර වර්ගයකින් විසබීජ ශරීරගත වන්නට තිබෙන අවස්ථාව ඉතාම ඉහළයි.

●පාචනය සහ අමතර දියර වර්ග
මව්කිරි වලට අමතරව වෙනත් දියර වර්ග ලබා දෙන අවස්ථාවල දරුවකුට ආමාශගත රෝග සඳහා වන විෂබීජ ශරීරගත වීමෙන් පාචනය වැනි රෝග ඇතිවීමට ඇති ප්‍රවණතාවය වැඩි වෙනවා. මවුකිරි පමණක් බොන දරුවකුට වඩා අමතර වෙනත් දියර වර්ග ලබා දෙන දරුවන්ට පාචනය වැළඳීමේ ප්‍රවණතාවය දාහත් ගුණයකින් වැඩි බව සමීක්ෂණ මගින් සනාථ වී තිබෙනවා. ජලය හෝ වෙනත් දියර වර්ග පානය නොකර මවුකිරි පමණක් බොන දරුවන්ට කන් වල ආසාදන සහ ශ්වසන ආසාදන ඇතිවන්නට ඇති ඉඩ ඉතාම අවමයි. දරුවා මව්කිරි උරාබොන අවස්ථාවේ ඔහු ඒ සඳහා මුහුණේ මාංශපේශි චලනය කරන විට කන් දෙකෙහි පිහිටා ඇති පේශි සියල්ලම ඉතා හොඳින් ක්‍රියාත්මක වෙමින් ඒවාට අවශ්‍ය ව්‍යායාම ලැබෙනවා. ඒ නිසාම කනේ ආසාදන ඇතිවීමට ඉඩක් නැහැ.
●ජීර්ණ එන්සයිම වල බලපෑම
මුල් මාස 6 තුළ දරුවකුට වෙනත් දියර වර්ග ලබා දෙන්න සුදුසු නැති බව පවසන්නට විද්‍යාත්මක හේතු කිහිපයක්ම තිබෙනවා. මුල් මාස හයේ දී දරුවකුගේ ශරීරය තුළ නිෂ්පාදනය වී තිබෙන්නේ මවුකිරි පමණක් ජීර්ණය කිරීම සඳහා වන එන්සයිම පමණයි.
වැඩිහිටියන් යම් කිසිවක් ආහාරයක් ලෙස හෝ පානයක් ලෙස ලබා ගත් විට ඒවා ආමාශය වෙත ගමන් කර ශරීරයට අවශ්‍ය කොටස් පමණක් උරා ගෙන ඉතිරි කොටස් බැහැර කරන්නට හැකි ලෙස ආමාශය සැකසී තිබෙනවා. නමුත් ළදරුවන්ගේ ශරීරයේ ජීර්ණ එන්සයිම සකස් වී නැති නිසා තෝරා බේරා ගැනීමකින් තොරව ලබාදෙන සියල්ල ශරීරයට උරා ගැනීම සිදු වෙනවා. ඒ තුළින් අහිතකර ප්‍රතිඵල ඇති වන්නේ දරුවාගේ ජීවිතයේ ඉදිරි කාලයේදී. මවුකිරි පමණක් බී වැඩෙන දරුවකුට වඩා ජලය සහ වෙනත් දියර වර්ග මුල් මාස හයේ දී ලබාදුන් දරුවන්ට පසුකාලීනව ආසාත්මිකතා ඇතිවීමේ ප්‍රවණතාවය ඉහළ ගොස් ඇති බව සොයාගෙන තිබෙනවා.
●ආමාශය හරි පුංචියි.
ඉපදෙන විට බිළිඳෙකුගේ ආමාංශයේ පරිමාව තිබෙන්නේ මිලි ලීටර 20ක පමණ ප්‍රමාණයක්. අලුත උපන් කුඩා බිළිඳකුගේ ආමාශයකට මුල් සති කිහිපයේ දී වරකට ඇතුළු කළ හැකියි දියර ප්‍රමාණය තේ හැඳි හතරක් පමණ වනවා. ආමාශය ඉතා වේගයෙන් වැඩෙන්නේ නෑ. මවුකිරි බොන දරුවකුට වෙනත් අමතර ජලය හෝ දියර වර්ග ලබා දීම තුළින් මව්කිරිවලින් පිරෙන්නට ඇති මේ කුඩා ඉඩ අමතර දියරයකින් පිරී යනවා. එවිට පෝෂ්‍ය ගුණයෙන් ඉහළ මව්කිරි ලබාගන්නට දරුවාගේ කුසේ ඉඩක් නැහැ. දරුවා කිරි බීම ප්‍රතික්ෂේප කරන විට එක් කිරි වේලක් හෝ මග හැරෙනවා. දරුවා කිරි උරන්නේ නැති වීමෙන් අම්මාගේ පියයුරට කිරි එරෙන්නට අවශ්‍ය උත්තේජනය නොලැබෙන නිසා මව් කිරි නිෂ්පාදනයෙහි අඩුවක් සිදු වෙන්නටත් පුළුවන්.
●රන් කිරි කටගෑමෙන් පසු
දරුවෙකු ඉපදුනු ගමන් මවක ගේ පියයුරට එරෙන මුල් කිරි හෙවත් කොලෙස්ට්‍රම් වල දරුවා සියලු රෝගවලින් ආරක්ෂා කිරීමේ ප්‍රබල හැකියාවක් අඩංගු වී තිබෙනවා. කුඩා දරුවා ගේ නොමේරූ බඩවැල මේරීම සඳහාත් කොලෙස්ට්‍රම් දායක වෙනවා. අලුත් බබා කහ වෙන්නට බලපාන්නේ බිලිඳාගේ සිරුරේ ඇති මිකෝනියම්. ඒවා කළු පැහැති මලපහ ලෙස පිට වෙන්නට බඩවැලට විරේකයක් ලෙස ක්‍රියා කරන්නේ මුල් කිරි හෙවත් කොලස්ට්‍රම්. දරුවකුගේ ශරීරයේ මෙතරම් සුවිශේෂී වෙනස්කම් සිදු කරමින් ආරක්ෂාව තහවුරු කරන මව්කිරි හැර වෙනත් දියර වර්ග දරුවකුට ලබා නොදිය යුත්තේ මව්කිරි දරුවාගේ ආරක්ෂකයා ලෙස නිරන්තරයෙන්ම ක්‍රියාකරන නිසයි.