අම්මා….තාත්තා…. මට,ඔබට ,අපට එය ඉතාමත්ම විශේෂිත නාමයන් බව අමුතුවෙන් කිවයුතු නැහැ.පුංචි තිතක් ලෙස සිය ගර්භාශයේ වැඩෙන කලලය සිය හදවතෙහි හොවා රකිමින් ආදරයේ පළමු හැඟීම් සිය සිතිවිලි ඔස්සේ දරුවා වෙතට යවන්නී ඇයයි!අම්මා සහ දරුවාගේ ලෝකයට විසල් සෙවණක් සදන්නේ ඔහුයි.ජීවිතේ පළමු ආදරය කියා දෙන්නී ඇය සහ ඔහු නොවේද?ඉතින් මේ ඔවුන්ගේ කතාවයි!
කුඩාම කුඩා අංශුමාත්‍ර ජීවියෙකු සිය ගර්භාශයේ වැඩෙන පළමු අත්දැකීම විඳිමින් මම මගේ සුපුරුදු රාජකාරී කටයුතුවල නියැලෙනවා.උයනවා.ලියනවා.සිනහවෙනවා.ඔව් පෙරටත් වඩා සතුටින් සිනහා වෙනවා.දුකක් පසුතැවීමක් එන්නට ඉඩ නොදෙන මම මගේ මානසික සුවතාවය ඉතාමත්ම හොඳින් පවත්වාගෙන යාමට මටම දුන් පොරොන්දුව ඉටු කරමින් සිටිනවා.එදිනෙදා ජීවිතයට අවශ්‍ය ජීවය වෙනදාටත් වැඩියෙන් උරා ගනිමින් සිටිනවා.ඔව් අතිශයින්ම සතුටින් සිටිනවා.
“හම්මෝ,මෙයා ඉන්නෙ නම් රටක් රාජ්‍යක් දිනලා වගේ”කාර්‍යාලීය මිතුරියකගේ එම වදන්වල ඇත්තේ සරදමක්ද,එසේත් නැත්නම් ආදරයක්ද යන්න පිළිබඳව කරදර නොවෙන මම එම වදන් විශ්ලේශනයට යන්නේ නැහැ..මට ඊටත් වඩා බොහෝ වැඩ තිබෙන අතර සිත සතුටින් පිරී තිබෙන කිසිම කෙනෙක් අනුන්ගේ වචන ඔස්සේ පෑරෙමින් නොසිටින බවද මා දන්නවා.
අනුන්ගේ කුණු අහුලමින්,ඒවා එකතු කරගෙන පසුව නැවත එලියට ඇද බලන කුණු බාස්කට් එකක් මා සතුව නැති බැවින් එකී කුණු ඔහේ සුදුසු ඉසව්වක් කරා පා වී යනු ඇති.
“මොනවද අනේ ඔච්චර ඔය ලිපියි,අරවයි මේවයි හොය හොය කියවන්නෙ.මටත් මේ ළමයි තුන්දෙනෙක් හම්බුණේ,හම්බෙනකම් දන්නෙ නෑ.දොස්තරල මිඩ්වයිෆ්ල ඉන්නෙ ඒවට තමා.එයාල දන්න දෙයක් අවශ්‍ය නම් අපිට කියා දෙනවා,අපි දොස්තරල නෙවෙනෙ.කාල බීල සැපට ඉන්නව මිසක්”
ඒ හඬ අකවුන්ටන්ට් ලෙස අලුතින් පැමිණි ගීතාගේ.සිය රාජකාරිය කිරීමට වඩා අනුන්ගේ කටයුතු කොහොම සිදුවෙනවාදැයි සෙවීමට ඇයගේ කාලය වැයවෙනවා.මම ඇයගේ කීම ගණනකට නොගෙන නමුත් නිසි පිළිතුරක් ඇයට දිය යුතු බව සිතනවා.
“ඇත්තද?ඒ ඔයානෙ.මම එහෙම කෙනෙක් නොවන නිසාත්,ලෝකෙ දියුණුම පේරන්ටින් වෙබ් සයිට්ස් හැදිලා තියෙන්නෙ නිකන්ම නෙවේ,මම වගේ පේරන්ටින් ගැන දැන ගන්න ආස අම්මල තාත්තලට නිසාත් මම කියවනවා.මේක මගේ සතුට.ඒ විතරක් නෙවෙයි මෙලෝ දෙයක් නොදැන ,අඩුම ළමයි ගැන කිසිම ස්ටඩී එකක් නොකර ළමයි හදන්නෙ ඇයි?අඩුම ඔයා ගෙදරට රයිස් කුකර් එකක් ගන්න ගියාමත් ඒක ගැන කොච්චර හොයනවද?එතකොට ළමයි ඔයාට ඒ තරම්වත් වටින්නේ නෑද?හරිම පුදුමයිනෙ.”
මුහුණ ඇද වන ඇය ඇයගේ ඕපාදූප දැමීමට සුදුසු කුණු බාස්කට් එකක් සොයාගෙන ඉවතට යන්නේ ඉක්මන් ගමනින්.මේ දිනවල අර්චනගේ සහ මගේ ඉන්බොක්ස් චැට් පවා පිරී යන්නේ පේරන්ටින් ගැන අප සොයා ගන්නා තොරතුරුවලින්.ඉන් වඩාත්ම ඉෆෙක්ටිව් කියා සිතූ බේබිසෙන්ටර් ඩොට් කොම් වෙබ් අඩවියේ මම මගේ ගර්භනී තොරතුරු ආදිය ඇතුලත් කොට දැනටමත් ලියාපදිංචි වී අවසන්.පිළිසිඳගත් දිනයේ සිට දරුවා ලබෙන තෙක් පමණක් නොව ඉන් ඔබ්බේ තොරතුරු රැසක් එහි යාවත්කාලීන වෙමින් තිබෙනවා පමණක් නොව මගේ ඊමේල් එකට දරුවාගේ වර්ධනය .නවීන ලෝකයේ කෙතරම් පහසුවෙන් අපට දැනුම සොයා ගත හැකිද?ඉන් අපේ ගැටලු කෙතරම් අවම කරගත හැකිද?
තාරකා මගේ කොටසට සිනාසෙමින් පැද්දි පැද්දී එන දකින මම සතුටු හුස්මකින් පෙණහලු පුරවා ගන්නවා.ඇයගේ අතේ කිසියම් රස කෑමක් නොවරදින බව මා දන්නවා.විවාහ වී වසර පහක් පමණ ගතවී ඇතත් තවමත් දරුවන් නොමැති ඇය එය කිසිදු ගැටළුවක් කර නොගෙන සතුටින් සැමියා සමග සිය ජීවිතය ගත කරනවා. “එන්න තියෙනවා නම් කවුරුහරි එන්නෙ නැතෑ එන දවසක”දරුවන් පිළිබඳ ඇයගෙන් විමසන අයට සිනාමුසුව පවසන ඇය ඔවුන්ගේ ඒ විමසීම ඒ මොහොතේම අමතක කර දැමීමට තරම් මානසික සුවයෙන් පොහොසත්.ඇය වැන්නියන් මේ සමාජක්‍රමය තුළ කෙතරම් වාසනාවක්ද?නමුත් කුඩා කාලයේ සිට ළමුන්ට ගුණ දහම් දේශනා කරමින්,පාසල් යවමින්,දහම් පාසල් යවමින්,පෝයට පන්සල් යවමින්,පල්ලි යවමින් සාදන ළමුන් වැඩිහිටියන් ලෙස බහුතරයක් ආත්මාර්ථකාමී දුෂ්ටයන් ලෙස සමාජගත වෙන්නේ කෙසේද යන්න සිතූ විට පුදුම සිතෙනවා පමණක් නොව ඒ ගැන වෙනම රිසර්ච් එකක් කලයුතු යැයිද මට සිතේ.නමුත් තාරකා සිනාසෙමින් පවසන්නේ කකුලුවා ඇදේට යනතාක් උන්ගේ දරුවන්ද ඇදේට යනු ඇති බවයි.