අම්මා….තාත්තා…. මට, ඔබට, අපට එය ඉතාමත්ම විශේෂිත නාමයන් බව අමුතුවෙන් කිවයුතු නැහැ. පුංචි තිතක් ලෙස සිය ගර්භාශයේ වැඩෙන කළලය සිය හදවතෙහි හොවා රකිමින් ආදරයේ පළමු හැඟීම් සිය සිතිවිලි ඔස්සේ දරුවා වෙතට යවන්නී ඇයයි! අම්මා සහ දරුවාගේ ලෝකයට විසල් සෙවණක් සදන්නේ ඔහුයි. ජීවිතේ පළමු ආදරය කියා දෙන්නී ඇය සහ ඔහු නොවේ ද? ඉතින් මේ ඔවුන්ගේ කතාවයි!
“මීනු මේ බලන්න.කෝ අනේ ඔයා ඔච්චර ඉක්මනට නිදිද?” ආර්චන කිසියම් අලුත් සොයා ගැනීමක් කල අයකු සේ ප්‍රීතියෙන් කෑ ගසයි.විවේකී ඉරිදාවේ සවස විවේකීව ගත කිරීමට සිතූ නිසා අප වෙනදා මෙන් එළියට නොයා සිටීමට ගත් තීරණය නිසා සුවබර නින්දකින් සවස් වරුවම පුරවා ගන්නට මම සූදානම් වී සිටිමි.
“ඇයි අනේ,මට පොඩ්ඩක් නින්ද ගියා.ඒක නෙවෙයි මම අමුතුම හීනෙකුත් දැක්කා.මම අපේ පැටියා ගැන හීන මවන හින්ද ද මන්දා මම දැක්කා මම අම්මා කෙනෙක් වෙලා.ලස්සන කොලු පැටියෙක් වඩාගෙන ඔයයි මමයි කොහේදෝ ඈතක අපි නොදන්නා පළාතක ඇවිදින්න යනවා”
ආර්චනගේ දෑස් සෙනෙහසින් දිලිසෙයි.ඔහුගේ අලුත් සොයා ගැනීම මට කීම පසෙක තබා මගේ සිතිවිලි වලට ඇහුම්කන් දීමට ඔහුට ඇති ඉවසීම මා සැනසිල්ලට පත් කරවයි.
“ඉතින් කියන්නකො,ඔයා මේ කෑ ගහගෙන දුවගෙන ආවෙ ඇයි කියලා?”
“මට නියම වෙබ් සයිට් ටිකක් හම්බුණා මීනු. මම මේ ටිකේම බබාල ගැන, එතකොට ඔයාගෙ ප්‍රෙග්නන්සි පීරියඩ් එක ගැන, ඒ සම්බන්ධ ඔක්කොම හොයමින්, කියවමින්. හරි නම් මේවා කියවන්න අපි මීට කලින් තමා පටන් ගන්න ඕනි. මම ඒ ලින්ක්ස් ටික ඔයාටත් එවන්නම්. ඔයත් අනිවාර්‍යයෙන්ම කියවන්න. හරි නම් පේරන්ට්ස්ලා වෙන්න කලින් හැමෝම අඩුම අවුරුද්දක්වත් මේවා ස්ටඩී කරන්න ඕනි. නැත්නම් මොනාහරි සෙමිනාස් කිහිපයකින් හරි එහෙම දේවල් කියල දෙන්න ඕනි අප්පා.දරුවො හදන්න කලින්.ඔය සෞඛ්‍යය කාර්‍යාල හරහා ඕව ඇරෙන්ජ් කරන්න පුලුවන්නෙ.”
ඔහු මහත් කල්පනාවෙන් බරවුණු මුහුණකින් යුතුව පවසයි. දරුවා තවම පිළිසිඳගෙන හෝ නැතිමුත් ආර්චන දැනටමත් පියෙකුගේ වගකීම් වලට සතුටින් යුතුව උරදෙන්නට පටන් ගෙන ඇත. එහි පළමු පියවර ඔහු ඒ පිළිබඳ කියවමින් සිය දැනුම වැඩි කර ගැනීමට මහන්සි වීමයි. සමහර විටක කාර්‍යාල සගයෙකුගේ මුවින් සිය සැමියා දරුවන්ගේ, තමන්ගේ වගකීම් පැහැර හරිනු බැව් දුකින් කී මුහුණක සේයාවක් මගේ මතකය පාරවමින් උඩට එයි.
ඇත්තටම දෙමාපියන් වීමට පෙර කෙතරම් වෙනසක් ජීවිතය තුළ සිදු කරගත යුතු ද? දරුවන් පිළිබඳව කෙතරම් දේවල් අප ඉගෙන ගැනීමට තිබෙනවා නොවේ ද?
මුදු ගුණය ඇති අය
දරුවන් දිනිය යුතුමය
නාට්‍යක ගීත කොටසක් මගේ මතකය තුළට පාව එනමුත් එහි ඉතිරි පද මට මතක නැත.
“අනේ ඔයා ශෝක්ම ශෝක් තාත්තෙක් වෙයි අපේ පැටියට” මම ආර්චන්ගේ උරහිස මත ඔලුව රඳවා ගනිමින් පවසමි.
“ඇයි ඔයා,ඔයත් මේ ලෝකෙ ඉන්න හොඳම අම්මා කෙනෙක් වේවි අපේ පැටියට.ඔයා දැන් වෙනදාට වඩා හරිම කූල්,ඒ වගේම හොඳ අසන්නෙක්.ඔයත් සෑහෙන්න වෙනස් වෙමින් කියල මට හිතුණා”
මම මා දෙසම බලමි. ආර්චන කියන්නේ ඇත්ත බව දන්නා බැවින් මට ඇති වන්නේ මහත් සතුටකි.කේන්තියෙන් නොරිස්සුමින් සිටින, නිතරම දරුවන්ට කෑ ගසන මවක් වීමට මට කිසිදු උවමනාවක් නැති අතර මගේම අම්මාගේ චරිතය මට සිහිවේ. අපට නිරන්තරයෙන් චෝදනා කරන්නියකව සිටි ඇය ගැන මම කෙතරම් කලකිරී සිටියා ද? මගේම දරුවන් කිසි දිනෙක එවන් අපහසුතාවන්ට පත් නොවනු ඇති බව සැනසුම් සුසුමන් හෙලමින් මම සිතමි.
“ඒක නෙවේ මීනු. ඕස්ට්‍රේලියාව වගේ රටවල් වල, එතකොට බටහිර රටවල් වල ළමයින්ට ස්කූල් එකේ දහය, එකොලහ පන්ති වලදි වගේ ළමයෙක් ගේ වගකීම ගන්න පුරුදු කරනවලු. කම්පියුටර් සිස්ටම් එකකට සෙට් කරපු රොබෝ බබෙක් දෙනවලු. එයා සාමාන්‍ය ළමයෙක් වගේ නැපි තෙමාගන්න, අඬන්න පුලුවන් විදියටලු හදලා තියෙන්නෙ. ඉතින් එයාව ගෙදර ගෙනිහින් සතියක් බලා ගන්න ඕනලු. ඒකට ලකුණු ඇඩ් වෙනවලු. එහෙම රොබෝ බබාල නැත්නම් ළමයෙක් විදියට අන්දපු බිත්තරයක් දෙනවලු. එකම එක ක්‍රැක් එකක්වත් නැතිව ඒ බිත්තර බබාව බලාගන්න ඕනලු. එයාල ඒ වගේ ඒවගෙන් කියල දෙන්නෙ ළමයෙක් කියන්නෙ කොච්චර ලොකු වගකීමක්ද කියල අවබෝධ කරන්නලු. ඒ වගේම හදිසියේ හරි ගැබ් ගත්තොත් ඒ සඳහා ත් පෙර සූදානමක් මේ දේවල් හරහා ලැබෙනවලු, හරිම ශෝක් නේද? අපේ රටෙත් එහෙම දේවල් ලේසියෙන්ම කරන්න පුලුවන්නෙ”
“අනේ ඔව් ආර්චන, අපට කොච්චර දේවල් මග හැරෙනවද නේද?අපරාදෙ.ඒත් කමක් නැහැ. අපි දැන්වත් අපේ වගකීම් ගන්න කලින් සූදානම් වෙනවනෙ. ඒකම ලොකු දෙයක් නෙ නේද?”
ආර්චන කිසියම් කල්පනාවක ගැලී හිස සලමින් ඉවත යන අතර මම නැවත මගේ සුව නින්ද සොයා යමි.එහෙත් හැරෙන තැපෑලෙන් එන ඔහු නැවතත් යහන මත වාඩිවෙයි.
“මීනු”
“ඔව් කියන්න”
“මට හොඳ අදහසක් ආවා”
ඔයාට ඉතින් නරක අදහසක් ආව දවසක් තියෙනවද”
“විහිලු නෙවේ,ඔන්න අහගන්න!මේක හරිම වටිනා වැඩක් වේවි”
“හරි ඉතින් කියන්න,මම මේ අහගෙන ඉන්නෙ”
අම්මා