අම්මා…. එය ඉතාමත්ම විශේෂිත නාමයක්.පුංචි තිතක් ලෙස සිය ගර්භාශයේ වැඩෙන කලලය සිය හදවතෙහි හොවා රකිමින් ආදරයේ පළමු හැඟීම් සිය සිතිවිලි ඔස්සේ දරුවා වෙතට යවන්නී ඇයයි!ලෝකයට ආදරය කියා දෙන්නී ඇයයි!ඉතින් මේ ඇයගේ කතාවයි!
මුනි සිරිපා සිඹිමින්නේ
සමනොල ගිරි පෙදෙසින්නේ
මඳ සුළඟයි මේ එන්නේ
මගේ පුතා නිදියන්නේ
ඈත කොහෙන්දෝ මිහිරි ගී ගායනාවක් මගේ දෙසවන් සිප ගන්නවා.මම ද සිතින් එය ගායනා කරනවා.ඒ ගීතයේ අපමණ මිහිර සමග මා තුළ සදාකාලිකව සිටින බිලින්දියද සෙමින් නැලවෙනවා.දැන් කාලෙ අම්මලා නැලවිලි ගී ගායනා කරන්නත් දන්නවද?කිසියම් විශ්මිත හැඟීමක් මා සිත වෙලා ගන්නා අතර මට නොදැනීම මගේ කුස වෙත අත යනවා.එසේ සිතුවත් අම්මලා ගැන මා දන්නේ මොනවාදැයි සිතී මටම සිනහා යනවා.
විවාහ වී වසර හතරක් ගතවීත් අප දරුවෙකු අප අතරට ගෙන ඒමට සිතුවේ නැහැ.ඒ නිසා අසාගත් සිත් වේදනාවට පත්වෙන වදන් මෙපමණයි කියා කීමට බැහැ.බොහෝ අය හිතුවේ අපේ රෝගී තත්වයක් නිසා දරුවන් හැදෙන්නේ නැහැ කියා.සමහරු එය කර්මය බවත් සමහරු එය අපේ ලෝබකම බවත් කියා සිටියා.මේ සියල්ලටම අප නිහඬව සිටියේ නම් නැහැ.ඊට ගැළපෙන පිළිතුරු ඒ මොහොතේම ලබාදුන් නිසා නැවත නැවත අපව පීඩාවට පත් කිරීමට ඔවුන්ට අවස්ථාවක් ලැබුනේ නැතත් අපට හොරෙන් ඔවුන්ගේ ඕපදූප,අනුන් පෙලන කතා සිදුවන්නට ඇති.ඉතාමත්ම සවිමත් මානසික තත්වයක සිටි අප ඒ ගැන කිසි සේත්ම වද වූවේ නැහැ.
කිසියම් සුබ කටයුත්තකදී මා ඉදිරියට නොපැමිණිය යුතු බව සිතූ මගේ නැන්දා ද,සිය පරම්පරාව රැගෙන යාමට කෙනෙක් නොවීම ගැන ආඩපාලි කියූ නැන්දම්මාද?දියණියගේ නොසරු බව ගැන කතා ඇසූ අම්මාගේ පීඩනය ද ඇතුලු අනුන්ගේ ජීවිත වලට කුරිරු ලෙස අත පොවන සමාජයක පීඩනය ද දරා ගැනීමට තරම් අපගේ ආදර පවුර ශක්තිමත්ව,විසල්ව අප වටා තේජාන්විතව නැගී සිටියා.
වර්ණාන්විත නොවන බසින් කියනවා නම්, කාටත් තේරෙන බසින් කියනවා නම්, විවාහක යුවලක් ලෙස අප ඉතාමත්ම සතුටින් අපේ යුග දිවිය ගත කරමින් සිටියා.අප එකිනෙකා හඳුනා ගනිමින් සිටියා.අලුත් ජීවිතය ගැන හදාරමින් සිටීයා.ඉතින් අපට අප සමග වැඩ ගොඩක් තිබුණා.
“මේ මොන විකාරයක්ද?ඔච්චර දේවල් හිතන්න ගියොත් මොකුත්ම කරගන්න වෙන්නෙ නැහැ”සමහර විට ඔබට එලෙස සිතෙනවා ඇති.නොසිතෙනවාත් ඇති.එහෙත් දරුවෙක් යන්න මට වගේම මටත් වඩා මගේ සහකරු බැරෑරුම් ලෙස බාර ගත්තා.පියෙක් ලෙස,මවක් ලෙස අපේ යුතුකම් ඉටුකිරීමට,අපගේ අවසානය තෙක් දරුවෙකුට ආදරය දීමට,සිතින් දරාගැනීමට කෙතෙක් ශක්තිමත් විය යුතුද යන්න පිළිබඳ අප අවධානය යොමු කරන්නට අමතක කලේ නැහැ.
“මීනු,මට හරිම අවුල් අප්පා.ඊයෙ සේනකගෙ ගෙදර ගියානෙ අපි.එයාලට බබාල තුනක්නෙ.සේනකගෙ වයිෆ් ලොකු බබාට හැම තිස්සෙම බනිනවා පොඩි අය බලාගන්නෙ නැහැ කියලා.ඔයා දන්නවද ලොකු බබාගෙ වයස කීයද කියල,අනේ තාම අවුරුදු හතරයි.මට කන්නවත් හිතුන් නැහැ ඒ බනින බැනිල්ලට.ලොකු මිනිහෙක්ට වගේ.මට හිතුනා සේනකගෙ වයිෆ් නම් හරිම ස්ට්‍රෙස් ඉන්නෙ කියලා”
“අපට දරුවන් නැතිවීම ගැන නිරන්තරයෙන් වද වෙන,දරුවන්ගේ අගය පහදමින් අපට අවවාද කරන,ජාතිය රැක ගැනිමට තමන් දරුවන් හදන බව කියමින් පාරම්බාන සේනක මා තුළ කවදාවත් ප්‍රසන්න හැඟුමක් ඇති කිරීමට සමත් නොවූ නිසා හැකි තරම් ඔවුන්ගෙන් ඈත්වී සිටීමට මා පියවර ගත්තත් ආර්චනගේ කාර්‍යාල සගයෙකු ලෙස සේනකව මග හැරීමට ඔහුට අවස්ථාවක් ලැබුණේ නැහැ.”
“ඔයාට කියන්න තිබ්බෙ බලාගන්න බැරි නම්,අහිංසක පොඩි දරුවන්ට බනිමින් ළමයි බලාගන්න නම් ඔච්චර ළමයි හැදුවෙ මොකටද කියල”මම කුරිරු සිනහවකින් යුතුව පවසන්නට ගියත් ආර්චන ගේ මුහුණේ ඇතිශෝකී බව තේරුම් ගනිමින් මම නිහඬ වෙමි.මව සේම දරුවන්ද පීඩාවෙන් පිරුණු ජීවිතයක් ගෙවන්නේ කාගේ වරදින්දෝයි සිතමි.
අප විවාහයට පෙර සිටම දරුවෙකු හැදීමට පෙර සපුරාගත යුතු ඉලක්ක කීපයක සිටියා.එය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙන්න පුලුවන් සහ නියතයක් නොවේ.නමුත් විවාහ වූ ගමන් කිසිදු ආර්ථික ස්ථාවරයක් නැතිව වගේම විවාහය කියන වෙනස් සංස්ථාවට හුරු වීමට පෙරම දරුවන් සාදාගෙන සිය පුද්ගලික ජීවිතයේ විවිධ අර්බුද රැසකට මුහුණ දුන් මිතුරු මිතුරියන් ගේ ජීවිත වලින් මම වගේම ආර්චන ද පාඩමක් ඉගෙන ගැනීමට අමතක කලේ නැහැ.
ඈතින් ඇසෙන නැලවිලි ගී නද දැන් ඇසෙන්නේ නැත.දරුවා සුව නින්දක විය යුතුය.මව ඒ අතර ලහි ලහියේ නිවසේ කටයුතු වල යෙදෙනවා විය යුතුය.නැති නම් ඇයත් දරුවා සමග සුව නින්දකට පිවිසුණා විය යුතුය.ගී හඬ ඔස්සේ නොදන්නා මවකගේ ආදරණීය මුහුණක් මවා ගැනීමට මම වෙහෙසෙමි.ඇයගේ ආදරයෙන් නැලවෙන දරුවාගේ මුහුණ මවා ගැනීමට වෙහෙසෙමි.
තවමත් මගේ කුස මත ඇති හස්තය මම සෙමින් ඉවතට ගනිමි.එය තුළ ඇති ගර්භාෂය ජීවයෙන් පිරවීමට අප එකඟ වී දැනට මාස කිහිපයකි.තවමත් මා සිතින් ගැයූ නැලවිලි ගීයෙන් නැලවෙන්නට දරුවෙකු එහි නැත.එහෙත් කිසියම් දිනෙක එහි රැකවරණය ලබමින් එයට හිමිකම් කියන්නෙකු එහි පැමිණෙනු ඇත.එය අහම්බයක් නොව ආරාධනාවක, සැලසුමක ප්‍රතිඵලයක් වනු ඇත.
අහම්බයකින් එය පිරී ගියහොත් කුමක් කලයුතුද?බලාපොරොත්තු රහිතව එහි ආදරයේ පණිවිඩය තැබූවන් කොතෙක් සිටී ද?ඔව්!ඒ සියල්ලන්ටම එහි ඉඩසේම මවකගේ හදවතක ඉඩ හසර ලැබිය යුතු නොවේද?
කොහේ හෝ විශ්වයේ ඈත,මෑත ඉමක සිටින,ගැබක මිහිර සොයා වෙහෙසෙන ,ගැබක රැකවරණයෙන් සැනසෙන ,ගැබක සිය ජීවය පැල කරන්නට වෙර දරන ආත්මයක ප්‍රාර්ථනාව,උත්සාහය,මා කුසමත,අපගේ බීජ මත මල් ඵල ගැන්වෙනු ඇත.එ දවස තෙක් අප ඉවසීමෙන් බලාගෙන සිටිය යුතු නොවේද?
කල්පනාවෙන් මිදෙන මම නැවතූ තැනින් ලියන්නට පටන් ගනිමි.නැවත ලිවීම මඳකට නවතා වික්ටර් රත්නායකයන්ගේ සුමියුරු හඬින් ගැයෙන ගීතයක් පසු බිමින් වාදනය කරමි.නැවත එහි සුවයෙන් නැලවෙමි……
සඳ දියකොට කිරි වතුරෙන්
ඒ දියරෙන් මුව දෝවා
දිව මතුරක් වන් නැළැවිලි ගීයෙන්
මතකයි මා නැළැවූවා
ජීවිතයෙන් ජීවිතයක් ගෙනදී
ඒ ජීවිතයට දිරි දී පණ දී
මා දැඩි කල අම්මා
ආදරයේ උල්පත වූ අම්මා….
අම්මා