ඔබේ පුංචි පැටියා ටිකෙන් ටික ලොකු වෙනකොට, බහ තෝරන්න පටන් ගන්නකොට, අම්මෙක් විදියට ඔබ කොච්චර සතුටු වෙනවද. ඒ වගේම තමයි පැටියා කතා කරන එක පොඩ්ඩක් හරි පරක්කු වුණොත්? ඒක හැම අම්මෙක්ටම ලොකු ගැටලුවක්. සමහර දරුවන්ට ඒක ඉබේම හරියන්න පුලුවන්. තවත් දරුවෙක්ට ප්‍රතිකාර අවශ්‍ය වෙන්න පුලුවන්. ඒ හින්ද සාමාන්‍ය හා අසාමාන්‍ය දේ ගැන ඔබ දැනගෙන සිටීම ඉතාම වැදගත්. අද ලිපිය ඒ ගැන.
කතා කිරීම කියන්නෙ අපි අදහස් ප්‍රකාශකරන ප්‍රධානතම ක්‍රමයක්. දරුවෙක් කතා කරන්න පරක්කු වෙනව කියන එක තහවුරුවෙන්නෙ, ඔබේ දරුවා ඒ වයසෙම වෙනත් දරුවෙක් කතා කරන ප්‍රමාණයට වඩා සැලකියයුතු අඩුවක් පෙන්නනවානම්.
සාමාන්‍ය දරුවෙක් කතා කරන පිලිවෙල
මාස 1-6 දක්වා | අපි බබාට කතා කරනකොට මොකක්හරි ශබ්දයකින් එයා ප්‍රතිචාර දක්වනවා |
මාස 6-9 දක්වා | Babbling/නොතේරෙන භාෂාවකින් කියවනවා |
මාස 10-11 දක්වා | ශබ්ද අනුකරණය කරනවා, “අම්මා, තාත්තා” වගේ වචන කියනවා, හැබැයි තේරුමක් ඇතිව නෙමෙයි |
මාස 12 දී | අම්මා දැක්කම අම්මා කියලත්, තාත්තට තාත්තා කියලත් කියනවා. ගොඩක් වෙලාවට අකුරු 3ක වචන අනුකරණය කරනවා. |
මාස 13-15 දක්වා | බබාට වචන 6-7ක ශබ්දකෝශයක් තියෙනවා |
මාස 16-18 දක්වා | බබාගෙ ශබ්දකෝශයෙ වචන 10ක් වගේ තියෙනවා |
මාස 18 – අවුරුදු 2 දක්වා | වචන දෙකක් එකතු කරලා කියන්න පුලුවන්. උදා; අම්මා ගියා |
අවුරුදු 2 -2 ½ දක්වා | බබාට වචන තුනක වාක්‍යයක් කියන්න පුලුවන්. |
අවුරුදු 2½ – 3 දක්වා | බබාගෙ වයස ඇහුවම කියන්න දන්නවා, තුනට වගේ ගනන් කරනවා |
අවුරුදු 3 – 4 දක්වා | වචන 6ක් විතර එකතු කරල වාක්‍ය කතා කරනවා, ප්‍රශ්න අහනවා, කතන්දර කියන්න පුලුවන්. බබා කියන හැම දෙයක්ම එයාව අඳුරන්නෙ නැති කෙනෙක්ට වුනත් තේරුම්ගන්න පුලුවන්. |
අවුරුදු 4 -5 දක්වා | පාට අඳුරනවා, එකේ සිට දහයට නිවැරැදිව ගණන් කරන්න පුලුවන්. |
මේ පිලිවෙලත් එක්ක බලනකොට ඔබේ පුංචි පැටියා කතාකරන එකේ පරක්කුවක් ඔබට තේරෙනවනම්, පළපුරුදු වෛද්‍යවරයෙක්ට දරුවාව පෙන්නන එක ඉතාම වැදගත්. ඒ මොකද කියනවනම් කතා කරන්න පරක්කුවෙන එක දරුවගෙ අධ්‍යාපන කටයුතු, සමාජයීය සම්බන්ධතා වගේම අනාගත වෘත්තීය ජීවිතයටත් බලපෑම් ඇතිකරනවා. ඊට අමතරව සමහර රෝගීතත්ව, වර්ධන ගැටලු කතාකරන්න පරක්කු වෙන එකත් එක්ක සම්බන්ධතාවක් තියෙන්න පුලුවන්.
දරුවන් කතා කරන්න වෙන්න හේතු මොනවාද?
- මානසික වර්ධනය සෙමින් සිදුවීම
මනස සෙමින් වැඩෙන දරුවො කතාකරන එක විතරක් නෙමෙයි අනිත් හැම ක්‍රියාකාරකමක්ම කරන්න පරක්කුවෙන්න පුලුවන්. ඒ නිසා ඔබට සැකයක් තියෙන ඕනෙම වෙලාවක වෛද්‍ය උපදෙස් ලබාගන්න මැලිවෙන්න එපා. මේ සඳහා ප්‍රතිකාරත් ඕනෙ තරම් තියෙනවා.
- ශ්‍රවණ ආබාධ
ගොඩක්ම බබාල කතාකරන්න පරක්කුවෙන්නෙ මෙන්න මේ හේතුව හින්දා. ඉපදුන ගමන්ම රෝහලේදි බබාලගෙ ඇසීම පරීක්ෂා කරල බලනවා. වෙනසක් තියෙනවනම් ඒ සම්බන්ධයෙන් තියෙන විශේෂිත සායනවලට දරුවාව යොමුකරාවි.
- කථන ආබාධ
මේ ආබාධ සියල්ලක්ම වගේ සුවකරන්න ප්‍රතිකාර ක්‍රම ලෝකයේ තියෙනවා.
- අදහස් ප්‍රකාශ කිරීමේ ආබාධ
මේ දරුවන්ගේ අදහස් ප්‍රකාශකිරීමේ තමයි ගැටලුව තියෙන්නෙ. තවත් විදියකට කියනවනම් තමන්ට හිතෙන දේවල් වචනවලට හරවන්න ඔවුන්ට අපහසුයි. ඒ හින්දා ඔවුන් කතාකරනකොට වැඩියෙන් ඉරියව් පාවිච්චි කරනවා. දරුවන් අතර සුලබ තත්වයක් නෙමෙයි.
- භාෂා එකකට වඩා පාවිච්චි කරන පරිසරයක ජීවත්වීම
ගෙදර භාෂා එකකට වඩා කථා කරනකොට බබාගෙ මොලයට ඒ ඔක්කොම තේරුම්ගන්න ලොකු වෙහෙසක් දරන්න වෙනවා. එතකොට එයාලා කතා කරන එක පරක්කුවෙන්න පුලුවන්.
- සාමාජයීය ගැටලු, මානසික පීඩනය
දරුවන්ට විතරක් නෙමෙයි වැඩිහිටි අපිටත් කතානොකර ඉන්න හිතෙන හේතුවක් තමයි මේ!
- ඔටිසම් වැනි රෝගී තත්ව
ඔටිසම් කියන්නේ මොලයේ ස්නායු වර්ධනයේ වෙනසක් නිසා ඇතිවන රෝගී තත්වයක්. අපි මේ ගැන ඉදිරි ලිපිවලදී විස්තරාත්මකව කතා කරමු.
ඔබේ දරුවා කතාකරන්න පරක්කුයි කියලා ඔබට හිතෙනවනම් පරක්කු නොකර වෛද්‍ය උපදෙස් ලබාගන්න එක නුවණට හුරුයි. එතකොට වෛද්‍යවරයා දරුවාව බලලා ඔබෙනුත් විස්තර අහලා, දරුවාට ප්‍රතිකාර ඕනෙද නැද්ද යන්න තීරණය කරාවි. සමහරවිට තවත් විශේෂඥ වෛද්‍යවරයෙකුට යොමුකරාවි. එහෙමත් නැත්නම් ඔබට උපදෙස් ලබාදේවි.
දරුවා කතාකරන්න පරක්කුවෙන එක ඔබේ හිතට ලොකු කරදරයක් බව ඇත්ත. ඔබටත් පුලුවන් පැටියට උදව් කරන්න. නිතරම කතාකරන්න. කතන්දර කියලා දෙන්න. පැටියව අගය කරන්න. බබා ඉපදුණු දවසෙ ඉඳලම බබත් එක්ක කතා කරන්න. ඒක එයාලගෙ මොලයේ ස්නායු වර්ධනයට රුකුලක් වෙනවා.බබාලට මොකුත් තේරෙන්නෙ නෑනෙ කියලා මොහොතකටවත් හිතන්න එපා!
වෛද්‍ය S. එදිරිසිංහ(MBBS (Rajarata)
(SLMC registration No:43303)
පේරාදෙණිය ශික්ෂණ රෝහල