මේ දිනවල පවතින උණුසුම් කාලගුණයත් සමග දරුවන් ශරීරය අප්‍රාණික වීමත්, ඉක්මනින් රෝගී වෙන බවත් දකින්නට පුලුවන්. දීර්ඝ කාලීනව මෙම තත්ත්වය පැවතීමෙන් ඔබ නොසිතන තරම් අවදානමක් දරුවන් කෙරෙහි එල්ල වෙනවා. දෙමව්පියන් ලෙස මේ වෙනුවෙන් අපට කළ හැකි දේ ගැන මේ ලිපියෙන් සාකච්ඡා කරනවා.
මේ කාලයේදී දරුවන් ඉක්මනින් අසනීප වීමට හේතුව කුමක් ද ?
සාමාන්‍යයෙන් ලංකාවට පෙබරවාරි, මාර්තු, අප්‍රේල් යන කාල වකවානුවල ඉතා උෂ්ණාධික කාලගුණයක් පවතිනවා. ඒ අතරිනුත් මේ දිනවල පරිසරයේ උණුසුම ඉතා ම ඉහළයි. දරුවන් පමණක් නොව, වැඩිහිටියන් පවා අකාර්යක්ෂම වෙන්නට හැකියාව වැඩි කාලයක් ලෙස මේ කාලය හඳුනාගන්නට පුලුවන්.
අධික උණුසුම නිසා දරුවන්ට ඇතිවන මෙම තත්ත්වයේ ලක්ෂණ මොනවාද?
කරන දේවල් කෙරෙහි අකාර්යක්ෂම වීම.
අධික කම්මැලිබව
සුලු දෙයින් පවා මහන්සි දැනීම.
නිරන්තර ඇඟපත වේදනාව
අධික නිදිමත
හිසරදය
මෙහි ඇති අවදානම් තත්ත්වය හඳුනාගන්නේ කෙසේ ද ?
අවුරුදු උත්සව, ක්‍රීඩා උත්සව පාසල්වල පවත්වන්නේ මේ කාලයේදී යි. ඒ හේතුව නිසා දරුවන් එළිමහනේ ගත කරන කාලය ඉතා ම වැඩියි. උෂ්ණාධික පරිසරයක වැඩි කාලයක් ගැවසීමෙන් දරුවන් පහසුවෙන් ම මෙම තත්ත්වයන්ට ගොදුරු වෙන්නට හැකියාව තිබෙනවා. දරුණු ම තත්ත්වය වන්නේ මේ නිසා “තාප කම්පන” (Heat Strokes) ඇති වී ජීවිතය පවා අහිමි වීමට ඉඩක් පැවතීමයි. ලංකාවේ මේ කාලයේදී එවන් මරණ 1-2 ක් සාමාන්‍යයෙන් වාර්තා වෙනවා.
අධික උණුසුම් කාලගුණයකදී ඇතිවන මේ ගැටලුව අවම කිරීමට දෙමව්පියන් ලෙස ඔබට කළ හැකි දේ මොනවාද?
- හැකිතාක් වතුර බොන්නට දරුවා උනන්දු කරන්න.
හැකි සෑම විටම එක උගුරක් හෝ වතුර බොන්නට දරුවන් දැනුවත් කළ යුතුයි. මේ කාලයේදී වතුර බෝතල් දෙකක් පාසල් යැව්වාට කමක් නෑ. පෙර දී බිව් ප්‍රමාණය මෙන් දෙගුණයක් වතුර ශරීර ගත වීම අත්‍යවශ්‍ය බවයි එයින් කියවෙන්නේ. කුඩා වතුර බෝතලයක් නිතර පුරවා ගනිමින් ළඟ තබා ගැනීම ද කළ හැකියි.
- එළිමහනේ ඉන්නා කාලය සීමා කරන්නට උපදෙස් දෙන්න.
දරුවා එළිමහනේ හා තද අව්වේ සිටින වෙලාවල් හැකිතාක් සීමා කරන්න. තොප්පියක්, කුඩයක් නිතර ම දරුවා අත තබන්න. එළිමහනේ ගැවසෙන විට ඒවා භාවිත කරන ලෙස උපදෙස් දෙන්න.
- ස්වභාවික පාන හඳුන්වා දෙන්න.
පිපාසය නිසා දරුවන් කෘත්‍රිම ව සැකසූ අධික සීනි සහ රසායනික ද්‍රව්‍ය යෙදූ පානයන් පාවිච්චි කරන්නට පෙළඹීමේ හැකියාව වැඩියි. එයත් සුදුසු නෑ. එනිසා හැකිතාක් දරුවන්ට ස්වභාවික පාන හඳුන්වා දෙන්න. දෙහි, දොඩම්, කොමඩු වැනි පලතුරු යුෂ මෙන් ම තැඹිලි වතුර වැනි දේ මේ සඳහා වඩාත් ගැළපෙනවා.
- දරුවාට වැඩි වෙලාවක් වතුරේ ඉන්නට දෙන්න.
දරුවාට අනිවාර්යයෙන් දිනකට වරක් හෝ හැකිනම් දෙවරක් නාන්නට ඉඩ දෙන්න. දිනපතා උදේට සහ දවල්ට විනාඩි විස්සකට වැඩි කාලයක් වතුරේ ඉන්නට ඉඩ දෙන්න. කුඩා ම දරුවන් පවා වතුර බේසමක දමා තබන්න. එමෙන් ම ඔවුන් ගිලීමට හෝ වතුර පෙවීමට හැකි නිසා ඒ පිළිබඳ අවධානයෙන් පසු වෙන්න.
- සැහැල්ලු ඇඳුම් අඳින්නට උනන්දු කරවන්න.
දහඩිය උරාගන්නා කපු රෙද්දෙන් මැසූ ඇඳුම් දරුවන්ට ලබා දීම සුදුසුයි. ඩෙනිම් වැනි තද රෙදිවලින් මැසූ ඇඳුම් , ඉතා අඳුරු පැහැ රෙදිවලින් මැසූ මේ දිනවල අඳින්නට කොහෙත්ම සුදුසු නෑ.
මෙම ගැටලුවට ලබා දිය හැකි දීර්ඝ කාලීන පිළියම් තිබේ ද?
හැකිතාක් ගස් වවන්න. වරකට එක් ගසක් බැගින් හෝ සිටවා රැක බලා ගන්න. අනිත් අයත් මේ ගැන දැනුවත් කරන්න. දරුවන්ට මේ ගැන කියා දෙන්න.