අම්මා….තාත්තා…. මට,ඔබට ,අපට එය ඉතාමත්ම විශේෂිත නාමයන් බව අමුතුවෙන් කිවයුතු නැහැ.පුංචි තිතක් ලෙස සිය ගර්භාශයේ වැඩෙන කලලය සිය හදවතෙහි හොවා රකිමින් ආදරයේ පළමු හැඟීම් සිය සිතිවිලි ඔස්සේ දරුවා වෙතට යවන්නී ඇයයි!අම්මා සහ දරුවාගේ ලෝකයට විසල් සෙවණක් සදන්නේ ඔහුයි.ජීවිතේ පළමු ආදරය කියා දෙන්නී ඇය සහ ඔහු නොවේද?ඉතින් මේ ඔවුන්ගේ කතාවයි!
“එයා දුවෙක් වෙයිද ?පුතෙක් වෙයිද?අර්චන”
සටහන් පොත පෙරලාගෙන සුදුසු ආමන්ත්‍රණයක් සොයා ගැනීමට නොහැකිව ලත වෙමින් මම අසනවා.
“චූටි පැටියෝ කියලා ලියන්න.එතකොට දුවෙක් ආවත්,පුතෙක් ආවත් ශේප්නෙ”
අර්චන පවසන දෙය පිළිගන්නට පුලුවන්.පාක් එකේ සිට එන විට රෑ කෑමද පිටින් රැගෙන ආව නිසා කලයුතු වැඩක් නැහැ.සාමාන්‍ය අස්පස් කිරීමේ කටයුතු මට කිරීමට ඉඩ නොතබා අර්චන සිදු කරන්නේ මා වෙහෙස වේ යැයි බියෙන්.
මගේ චූටි මැණික,ලෙස මම සටහනට ආමන්ත්‍රණය යොදනවා.මේ තරම් සෙනෙහසක්……තවම කුඩා බීජයකටත් මට පුදුම හිතෙනවා.
“අර්චන,අපි කවදද ගෙදරට කියන්නේ,අනේ මට ඉවසිල්ලක් නැහැ.ඉක්මනින්ම කියන්න ඕන”
“එහෙනම් මේ දැන් කියමු”
“මේ දැන්”
“ඔව්,මේ දැන්”
දෙදෙනාම සිනහා වෙමින් තරඟයට මෙන් ෆෝන් ඩයල් කරනවා.
“හරි අපි බලමු කවුද දිනන්නෙ කියලා.ඔයාගෙ ගෙදරින් ඉක්මනට ආන්සර් කලොත් ඔයා හෙට මට බත් කවන්න ඕනි.මගෙ ගෙදරින් ඉක්මනින් ආන්සර් කලොත් මම ඔයාට රසට අනලා කවන්නම්”
අර්චන සිනාසෙමින් හිස සලනවා.ඒ සමගම ෆෝන් එකට කතා කරනවා.මම පැරදුන බව හඟවමින්,ඔලුව නටවමින් කතා කරන අර්චන දකින මට ඒ වැනිම පුතෙකුගේ රූපය මැවෙනවා.
“අම්මා,ඕන් ඔයා ආච්චි කෙනෙක් වෙන්න යන්නේ….”අර්චන සිනා සෙමින් පවසනවා.
“අපේ ගෙදර මිනිස්සු කොහේ ගිහින්ද අප්පා,කොච්චර වෙලා රින්ග් කරනවද මම”
අර්චන සිනාසෙමින් මා අසලට පැමිණ ඔහුගේ රිසීවරය කනේ තබනවා.එහා පැත්තෙන් තවමත් දුරකතනය නාද වනු ඇසෙන අතර අර්චන මා රැවටීමට බොරුවක් කල බව තේරුම් ගන්නා මට තවත් සිනහා වනු මිස කලයුතු වෙන දෙයක් මතක් වෙන්නේ නැහැ.
“අහල පහල මිනිස්සු දැන් පොලීසියට පැමිණිල්ලක් දානවා අපේ ගෙදර හිනා සද්දේ වැඩියි කියලා”අර්චන සිනාසෙමින් කියනවා.
දෙදෙනාගේම දුරකතන එකවර ආන්සර් කරනු ලබන අතර,අපහසුවෙන් සිනහව නවත්වා ගන්නා අප කතා කරනවා.
“අම්මා ඔයා ඕන් ආච්චි කෙනෙක් වෙන්න යන්නේ”මගේ කටහඬ තරමක් වෙවුලනවා.මා කුස තුල තබාගෙන සිටි ඇයගේ හැඟීම් මම අත් විදිමින් ඉන්නවා.එයට මා කෙතරම් ණය ගැතිද?
“ආනේ,මගෙ පුතේ,කොච්චර දෙයක්ද?අම්මාගේ වෙවුලන ආදරණීය හඬ එහා පසින් ගලා විත් මගේ හදවතටම කිඳා බසිනවා.
“අම්මා,අද තමා මට ඒ ෆීලීන් එක හරියටම දැනුනෙ.බබෙක් ගෙ මූණවත් දකින්නෙ නැතුව එහෙම නම් දැක්ක්ම කොහොම තියේවිද?මම ළමයෙක් විදියට හරි දැන් හරි ඔයාගෙ හිත රිද්දපු හැම වතාවකටම මට සමාවෙන්න.ආයෙමත් කවදාවත් ඒක මගේ අතින් වෙන්නේ නැහැ.තාත්තාටත් ඒකම කියන්න”
අම්මා සෙමින් ඉකිබිඳින හඬ මට ඇසෙනවා.නොදැනීම ගලා ආ කඳුලු මගේ ගවුම තෙත් කරනු දැනී මම දෑස් පිස ගන්නවා.දුරකතන සංවාදය ඉක්මනින් නිම කරන මම නැවත සටහන ලිවීම පටන් ගන්නවා.අර්චන පෙනෙන්න්ට නැහැ.මට වුන දෙයම ඔහුටත් වෙන්නට ඇති බවත් නිවසේ කොහේ හෝ තනිවම සිය හැඟීම් විඳ ගනිමින් ඔහු සිටිනවා ඇති.අද දවසේ පැය කිහිපයක් ඇතුලත අපගේ ජීවිත කෙතරම් වෙනසකට බඳුන්වුනාද කියා කල්පනා කරමින් මම මගේ අනාගත මැණික අමතනවා.
මගේ චූටි මැණික,
ඔයාට මම ආදරෙයි.තාත්තාත් ගොඩාක්,සමහර විට මටත් වඩා ආදරෙයි කියලා මම දන්නවා.ඒත් මම ඒ ගැන ඔයාට හැමදාම කියන්නේ නැහැ.එයා එයාගෙ සටහන් ඔයා වෙනුවෙන් වෙනම ලියාවි,ඔයාට කියාවි.කවදා හරි ඔයා ලොකුවෙලා මේ සටහන් කියවන දවස එනකන්,සමහර විට මගේ ජීවිතේ තියෙනකන්ම මම ඔයාට ලියාවි.ඔයා එක්ක කතා කරන්න පුලුවන් කාලවලදීත් මම ඔයාට ලියාවි.එහෙම හොඳයි නේද?ජීවිතේ ඔයාට තනිකමක්,දුකක්,අපහසුවක් දැනෙන ඕනම මොහොතක මේ සටහන් ඔයාට මම ඔයා ලඟ ඉන්න බව ඔයාට කියලා දේවි.මට හිතෙන හැම දෙයක්ම මම මේකෙ ඔයාට ලියන්නම්.ඔව් කිසිම දෙයක් මග හරින්නේ නැතිව.ඔක්කොම.
මම ඔයාගේ අම්මා!
මට දැනෙන්නේ පුදුම සැහැල්ලුවක්.
අර්චන නැවත තමන්ගේ සුපුරුදු වැඩවල යෙදෙනවා පෙනෙනවා.අම්මා,ගෙදර අය සමග ගිය සංවාදය මට තවමත් කීමට තරම් පහසු මානසිකත්වයක එයා නැති බව අත් දැකීමෙන් දන්නා නිසා මම කරදරයක් නොවී නිවසේ ඉතිරි වැඩ කටයුතු නිම කරනවා.අර්චන සහ මා අතර ඇති ඒ අවබෝධය අපේ කුඩා ජීවියාට මතු දිනක අනන්ත රැකවරණයක් සලසන බව මා දන්නවා.
අම්මා