අම්මා….තාත්තා…. මට,ඔබට ,අපට එය ඉතාමත්ම විශේෂිත නාමයන් බව අමුතුවෙන් කිවයුතු නැහැ.පුංචි තිතක් ලෙස සිය ගර්භාශයේ වැඩෙන කලලය සිය හදවතෙහි හොවා රකිමින් ආදරයේ පළමු හැඟීම් සිය සිතිවිලි ඔස්සේ දරුවා වෙතට යවන්නී ඇයයි!අම්මා සහ දරුවාගේ ලෝකයට විසල් සෙවණක් සදන්නේ ඔහුයි.ජීවිතේ පළමු ආදරය කියා දෙන්නී ඇය සහ ඔහු නොවේද?ඉතින් මේ ඔවුන්ගේ කතාවයි!
ආර්චන මා ලියන ආකාරය සන්සුන්ව බලන් ඉන්නවා.එයාගෙ ඇස්වල තියෙන්නෙ වගකීම් සහගත බැරෑරුම් පෙනුමක්.
“මොකෝ මේ ගල් ගිලලා වගේ,බය වුනාද?”
මම සිනාසෙමින් කියනවා.එහෙත් කුමක්දෝ තැති ගැන්මක් සිත යටින් මතුවෙනු මට දැනෙනවා.ආර්චනගේ මානසිකතවය මට හොඳින්ම තේරුම් ගන්නට පුලුවන් මුත් මම මගේ තැති ගැන්ම සඟවා ගැනීමට තැත් කරමින් ඉන්නේ.මොනවා වුනත් ප්‍රසූතියකට මුහුණ දෙන්නී මාය.එය කිනම් ආකාරයේ එකක්දැයි මම කිසිසේත්ම තවමත් දන්නේ නැහැ.අනෙක් අයගේ අත් දැකීම් වලින් තේරුම් ගත හැකි කොතෙක් දේවල් තිබුණත් මේ එවන් එකක් නොවන බව මා හොඳින්ම දන්නවා.
“මීනු,මම හිතන්නෙ අපි පාක් එක පැත්තෙ ඇවිදල ආවොත් හොඳයි කියලා.පොඩ්ඩක් කතා කරමින් ඇවිදිමු.එළිමහනක…”
“අනේ ඔව් ආර්චන,මටත් හිතට මොකද්දෝ බරක් දැනෙනවා.කවදාවත් ,මැරෙනකම්ම ජීවිතේ ගන්න වගකීමක බරක් නිසා ද මන්දා,මොකද්දෝ බයක් දැනෙනවා.”
“බය වෙන්න එපා,මම ඉන්නව නෙ.”
එකිනෙකාව සනසා ලීමට වෑයම් කරමින් අපි එලියට යන අතර,වැව් තෙරෙන් හමා එන සුළඟ,ගස් වැල් වලින් පෙරෙන මඳ නල සිතට යම් සැනසුමක් එකතු කරයි.තවමත් මගේ කුස තුල ජීවය ඇති බවට අංශු මාත්‍රයක හෝ ඉඟියක් පිටතට නොපෙනෙන බව සැබෑමුත් මම අර්චනගේ අත අල්ලාගෙන හරිම පරිස්සමින් ඇවිදිමි.තණ බිස්සේ ඇති කුඩා බැස්මක්,නැග්මක් පවා පයට දැනෙන ලෙස සියුම්ව පියවර තබනවා.
“මීනු,ඔයා පොඩ්ඩක් රිලැක්ස් වෙන්න.ඔයා ඇවිදින්නෙත් වෙනදා වගේ නෙවෙයි.පොළවට රිදෙයි කියල වගේ බයෙන්.”
“අනේ ඔව් ආර්චන,මට බයයි.පොඩ්ඩක් හරි ගැස්සෙයි ද කියලා,මතකනෙ අර අපේ ඔෆිස් එකේ ශවිනිට වුණ දේ,ප්‍රෙග්නන්ට් කියලා නොදැන ට්‍රිප් එකක් ගිහින් එද්දි බබා….”
ඉතිරිය කටින් පිට කිරීමට පවා මම බය වෙමින් .දැන් නම් අර්චනගේ පෙනුම හරිම නිදහස්.මාව සන්සුන් කිරීමේ වෑයමක් කරට අරගෙන වගේ කියලා මට හිතෙනවා.
“එහෙම මුකුත්ම වෙන්නෙ නෑ මීනු.අපි මේ සාමාන්‍යය විදියට ඇවිදිනව විතරයිනෙ.ඉතින් අද අපි පොඩ්ඩක් රිලැක්ස් වෙමු.ඒ වගේම ඉස්සරහට අපි දෙන්නටම වෙනදට වඩා රිලැක්ස් වෙන්න දේවල් මොනවද කියලත් හොයාගන්න වෙනවා.සාමාන්‍යයෙන් ප්‍රෙග්නන්සි පීරියඩ් එකේදි නොසන්සුන් වෙනව වැඩියි කියලා මම කියෙව්වා.ඒ ගැන අපි හොඳ අවධානයකින් ඉන්න ඕන කියල මම හිතුවා.අද අපි ඩොක්ටර්ස්ල ගැනවත්,බබා ගැනවත්,මුලින්ම කියන්නෙ කාටද කියලවත් වද නොවී පොඩ්ඩක් ඇවිදලා සතුටින් ඉමු.එහෙම හොඳයි නේද”
“අනේ ඔව් අනේ,එහෙම හොඳයි.මම කැමතියි එකට.ඒක නෙවේ එහෙනම් අපි අයිස්ක්‍රීම් කාල,කෝපි බීලා,තව මොනාත් හරි කාලාම ගෙදර යමු”
“චූටි බබෝ,අපිට ඔයාව අමතක නැහැ,අම්මියි තාත්තියි පොඩ්ඩක් මේ රිලක්ස් වෙන්න හදනවා විතරයි” ආර්චන කුස මත අත තබා පවසන ආකාරයට මට හිනා නොවී ඉන්න අපහසුයි.මේ දෙන්නා මෙච්චර හිනා වෙන්නෙ මොකටද මන්දා වගේ සමහරු නොරිස්සුම් බැල්මකින් යුතුව අප දෙස බලනවා.
පාක් එකේ වෙනදා මෙන් වැඩි සෙනඟක් අද පෙනෙන්නට නැහැ.අම්මා සහ තාත්තා සමග පැමිණි කුඩා සිඟිත්තියක අයිස් ක්‍රීම් එකක් කමින් එහෙ මෙහෙ දුවනවා.විටින් විට දුව විත් අම්මාට කටක් සහ තාත්තාට කටක් කවා නැවත ඉවතට දුවනවා.තරමක් ඈතින් සිටින්නේ දැරියගේ ආච්චී විය යුතුයි.මුහුණට වැටෙන කර්ල් කොණ්ඩයෙන් යුතු දඟකාර ඇයව දකින අපට නැවතත් අප තුල ඇති,එහි වැඩීමට නැවුම් පියවර තැබූ කුඩා ජීවියා සිහි වෙනවා.ආර්චන සිනා සෙමින් මා දෙස බලන්නේ මගේ සිතැඟි තේරුම් අරගෙන බව මම දන්නවා.
“මීනු”
“ඔව්,කියන්න”
“අපිට එයා ගැන නොහිතා ඉන්න බැරි වෙයි.පොඩ්ඩකට වත් අමතක කරන්න බැරිවෙයි.පොඩ්ඩක් රිලැක්ස් වෙන්න කියලා එයාව අමතක කරමු කිව්වට මට වගේම ඔයාටත් ඒක බැහැ.ඒ විතරක් නෙවේ වටේ පිටේ පොඩි පැටව් දැක්කම ඒක තවත් වැඩියෙන් දැනෙනවා.ජීවිත කාලෙම මෙහෙම වේවි නේද”
“ඔව්,අර්චන,රාහුලයෙක් උපන්නා,බැඳීමක් ඇතිවුණා.ඒක රාහුලයෙක් පිළිසිඳුණා,බැඳීමක් ඇති වුණා කියල වෙනස් කරගමු,එහෙම හොඳයි නේද?
අපි දෙදෙනාම නැවත මහ හඬින් සිනාසෙමින් ඇවිදින්න පටන් ගන්නවා.ගෙදර ගිය විගස ඒ නොදුටු ජීවියා අමතමින් ලියන්නට මා සිහින දකිනවා.මම එයා ගැන හිතන දේවල් කොච්චර තියෙනවාද?ඒ ඔක්කොම කවදා හෝ දිනයක කියවන තෙක් ලියා තබන්නට නොඉවසිල්ලකින් මා පෙලෙනවා.
අම්මා