ඩෙංගු උණ මාරාන්තික බව අප හැම කෙනෙක්ම දන්නා කාරණාවක්. වෙනත් රෝග සම්බන්ධයෙන් ආරක්ෂා වන්නට කටයුතු කළත් අපේ නොසැලකිලිමත් බව සහ තවත් කාරණා නිසා සෑම වසරකම ඩෙංගු රෝගයෙන් මිය යන සංඛ්‍යාව විශාල අගයක් ගන්නවා. බස්නාහිර පළාත තුළ තරමක් වැඩියෙන් ද රටේ අනිකුත් ප්‍රදේශවලද ඩෙංගු රෝගය ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින බව මේ වෙද්දී සෞඛ්‍ය අංශ හෙළි කර තිබෙනවා.මව්වරුන් ලෙස ඩෙංගු රෝගය සම්බන්ධයෙන් දැනුවත් විය යුතු කාරණා මොනවාද? පුරවැසියන් ලෙස අප මේ සම්බන්ධයෙන් ඉටු කළ යුතු මොනවාද කියලා ඔබව දැනුවත් කරන්නට අපි හිතුවා.
ජාතික ඩෙංගු මර්දන ඒකකයේ වෛද්‍ය ලහිරු කොඩිතුවක්කු මහතා සමඟ ඒ සම්බන්ධයෙන් අප කළ සංවාදය මෙපරිදියි.
මේ දිනවල පැතිර යන වෛරස් උණ රෝගයෙන් ඩෙංගු උණ රෝගය වෙන් කර හඳුනා ගන්නේ කොහොමද?
ඕනෑම වෛරස් රෝගයක මූලික අවස්ථාවේ දී රෝග ලක්ෂණ සමානයි. ඕනෑම වෛරස් රෝගයක උණ, හිසරදය, ඇඟපත වේදනාව තිබෙන්න පුලුවන්. නමුත් ඩෙංගු රෝගයේ තිබිය හැකි මූලික ලක්ෂණ වෙන්නේ දින 2-7 අතර කාලයක තද උණ, තද හිසරදය, ඇස් යට වේදනාව, හන්දිපත් වේදනාව (මස් පිඬු සහ හන්දි වේදනාව ලෙස) යන ඒවා.ඩෙංගු උණ විවිධ තත්ව වලින් පවතිනවා. සාමාන්‍ය උණ, ඩෙංගු උණ, ඩෙංගු රක්තපාත උණ, ඩෙංගු කම්පන තත්ත්වය, සංකීර්ණ ඩෙංගු ලෙස ඒවා වර්ග වෙනවා. ඩෙංගු රෝගයේ අවදානම් රෝග ලක්ෂණ ඇතිවෙන ඩෙංගු රක්තපාත තත්ත්වයේ දී හෝ ඩෙංගු කම්පන තත්වයේ දී. එහිදී මතුවන රෝග ලක්ෂණ වෙන්නේ නොනවත්වා පවතින වමනය, අධික උදර වේදනාව, රුධිර වහනය සිදුවීම, (විදුරුමස්,වමනය, මල පහ සමඟ,යෝනි මාර්ගයෙන්) නිද්‍රාශීලී බව, නුරුස්නා ස්වභාවය, කුඩා දරුවන් නම් එක දිගට ආහාර ප්‍රතික්ෂේප කිරීම, වෙනදාට වඩා හැසිරීම් වෙනස් වීම ආදියයි. ඩෙංගු රෝගියෙකුගේ උණ අඩු වුණත් අනිත් රෝග ලක්ෂණ වෙනස් වෙන්නේ නැහැ. පැය 4- 6 අතර කාලයක් පුරා මුත්‍රා පිට නොවීම නොවීමත් දකින්නට ලැබෙන්න පුළුවන්. මේවා ඩෙංගු රෝගියෙකුගේ අවදානම් රෝග ලක්ෂණ ලෙස අපිට හඳුන්වන්න පුළුවන්. මෙවැනි අවදානම් රෝග ලක්ෂණ පෙන්වද්දි අනිවාර්යෙන්ම රෝහලකට යා යුතු වෙනවා. එසේ නොමැති නම් වහාම වෛද්‍යවරයෙකු හමුවී උපදෙස් පැතිය යුතුයි.
මේ දිනවල පැතිර යන සාමාන්‍ය වෛරස් උණ රෝගවල ශ්වසන පද්ධතිය ආශ්‍රිත රෝග ලක්ෂණ සාපේක්ෂව වැඩියි. උදාහරණයක් ලෙස ඉන්ෆ්ලුවන්සා හෝ කොවිඩ් 19 වැනි රෝග ලෙස එම වෛරස් උණ රෝග මතු වෙන්න පුළුවන්. නමුත් ඉහත රෝග ලක්ෂණ වලින් ඒවා සහ ඩෙංගු රෝගය වෙන්කර හඳුනාගන්න අපිට පුළුවන්.
ඩෙංගු රෝගියෙකු නිවසේදී ප්‍රතිකාර ගන්නවා නම් සැලකිලිමත් විය යුතු කාරණා වෙන්නේ මොනවාද?
රෝහලට ගිය පසු රෝග ලක්ෂණ විමසීමට ලක් වෙනවා. ඒ වගේම පරීක්ෂණාගාර වාර්තා පරීක්ෂාවට ලක් වෙනවා. රෝගියා නිවසට යවා වරින් වර ගෙන්වාගෙන පරික්ෂා කළ හැකි මට්ටමක සිටිනවා ද යන්න හෝ රෝහල්ගත කරනවා ද යන්න ඉන්පසු වෛද්‍යවරයා තීරණය කරනවා. රෝගියා නිවසේදී ප්‍රතිකාර ගන්නවා නම් රෝගියාව රැක බලා ගත යුතු අන්දම වෛද්‍යවරුන් පවුලේ අයට පැහැදිලි කරනවා. ප්‍රධානම කාරණාව නැවත රෝහලට පැමිණිය යුතු අවස්ථාවයි. රුධිර පරීක්ෂණයක් කරන්නට පැය 12කින් හෝ පැය 24කින් පැමිණෙන්නට උපදෙස් ලැබෙනවා. එය පිළිගැනීම පිළි ගැනීම ඉතාම වැදගත්. රෝගියාගේ බර අනුව සහ රෝග ලක්ෂණවලට ගැලපෙන ආකාරයට නිසි දියර ප්‍රමාණ ලබා දෙන්නට නිර්දේශ කරනවා.පැයකට ලබාදිය යුතු දියර ප්‍රමාණය ඒ අනුව විස්තර කරනවා.ඩෙංගු රෝගයේ දී ප්‍රධාන වශයෙන් සිදුකරන කාරණයක් වන්නේ තරල කළමණාකරණය වීම එයට හේතුවයි.ඩෙංගු වෛරසයේ තිබෙන විශේෂ ලක්ෂණයක් වන්නේ වෛරස් ආසාදනය වූ පසු රුධිර නාල වල ඇති පාරගම්‍යතාවය වැඩිවී ඇතුළත තිබිය යුතු තරල ඇඟේ ඇති කුහර වලට ගමන් කිරීමයි. ඩෙංගු රක්තපාත සහ කම්පන තත්වයේදී සිදුවන්නේ එයයි. එය භයානක තත්ත්වයක්.එය ඇතිවීම වළක්වා ගන්නට පිටතින් දෙන දියර ප්‍රමාණය වගේම ඇඟෙන් පිටවෙන දියර ප්‍රමාණයත් අපි නිවැරදිව කළමනාකරණය කරගත යුතු වෙනවා. ඒ නිසා රෝගියාගේ බරට ගැලපෙන පරිදි දියර ලබාදිය යුතු වෙනවා. ඒ උපදෙස නිවැරදිව ක්‍රියාත්මක කළ යුතුමයි. දියර කියන්නේ වතුර පමණක්ම නොවෙයි.ලවණ මිශ්‍රිත දියර ලබා දීම වැදගත්. ජීවනී, තැඹිලි, බැදි හාල් කැඳ, පළතුරු යුෂ වැනි දේ ලබා දෙන උපදෙස් වලට අනුව නියමිත ප්‍රමාණයෙන් ලබාදීම වැදගත්. පැයකට ලබා දිය යුතු දියර ප්‍රමාණය වෙන්නේ මිලි ලීටර් සියයක් නම් එයට ජීවනි, ජලය සහ බා ගන්නා සියලුම දියර ඇතුලත් වෙනවා. රතු පැහැ දියර වර්ග ලබා ගැනීමෙන් වැළකිය යුතු වෙනවා. රුධිර වහනයක් සිදු වනවා නම් එය සොයා ගන්නට එවිට අපහසුයි. ඒ වගේම පිට කරන මුත්‍රා ප්‍රමාණය මැනිය යුතු වෙනවා. එය සිදු කරන්නේ තරල කළමනාකරණය කර ගැනීම උදෙසායි. රෝගියා දැඩි ලෙස විවේක ගැනීම අනිවාර්ය වෙනවා. ඇඟ වෙහෙසවූ විට රෝගයේ ඇති සංකූලතා නිවැරදිව හඳුනා ගන්නට අපහසු වෙනවා. උණ පාලනයට පැරසිටමෝල් ලබා ගත යුතුයි. නියමිත මාත්‍රාව සහ කාලය අනුව ලබා ගත යුතු වන්නේ පැරසිටමෝල් පමණයි. වෙනත් වේදනා නාශක ලබාගැනීම නොකල යුතු වෙනවා. එසේ ලබා ලබාගැනීමෙන් ඩෙංගු රක්තපාතය අභ්‍යන්තර රුධිර වහනය සිදුවී සංකූලතා ඇති වී ජීවිතය පවා අහිමි වීමේ ඉඩක් පවතිනවා.එනිසා ඖෂධ ලෙස කිසිම අත් බෙහෙතක් හෝ කිසිවක් ම ලබා ගත යුතු වන්නේ නැහැ.
කුඩා දරුවන්ට ඩෙංගු රෝගය පවතිනවා නම් නිවසේ දී රැක බලා බලා ගන්නේ කොහොමද?
ඉහත උපදෙස් කුඩා දරුවන්ට ද පොදු කාරණා වෙනවා.ඊට අමතරව මඳ රස්නේ වතුරවලින් රෙදි කඩක් පොඟවා කිහිලි, ඉකිලි, නලල ආදියේ තෙත මාත්තු කිරීම සුදුසුයි. දරුවන්ට ලබා දෙන පැරසිටමෝල් මාත්‍රාව වෙනස්. නමුත් ඔවුන්ට ද නියමිත මාත්‍රාවෙන් නියමිත ප්‍රමාණයෙන් එය ලබා දිය යුතුම වෙනවා. දරුවාට අවදානම් රෝග ලක්ෂණ මතු වෙමින් පවතින බව පෙනෙනවා නම් වහාම වෛද්‍යවරයෙකු වෙත යාම කළ යුතුම වෙනවා. වඩාත් සුදුසු වන්නේ ළඟම ඇති රෝහලට යාමයි.
මේ වෙද්දි බස්නාහිර පළාත සහ රටේ සියලුම ප්‍රදේශ වල ඩෙංගු රෝගය පැතිරෙමින් පවතින බව කියවෙනවා. ඒ සම්බන්ධ තත්ත්වය කොහොමද?
2023 පෙබරවාරි පළමුවැනිදා උදෑසන ලැබුණු දත්ත අනුව ඩෙංගු යැයි සැක කරන රෝගීන් 8966 දිවයිනෙන් වාර්තා වෙනවා. කොහොමටත් සෑම වසරකම රෝගීන්ගෙන් සියයට පනහක් පමණ ප්‍රමාණයක් බස්නාහිර පළාතෙන් වාර්තා වෙනවා. ඒ වගේම මේ වසරේදීත් කොළඹ සහ ගම්පහ ප්‍රදේශවලින් වැඩි රෝගීන් ප්‍රමාණයක් වාර්තා වෙමින් පවතිනවා.පෙබරවාරි පළවෙනිදා දත්ත අනුව කොළඹ රෝගීන් 1842 ද ගම්පහ රෝගීන් 1930 වාර්තා වෙනවා. ඊට අමතරව යාපනය මහ නගරසභා සීමාව, පුත්තලම කල්පිටිය ප්‍රදේශය, නැගෙනහිර පළාතේ අම්පාර දිස්ත්‍රික්කය, කල්මුණේ ප්‍රදේශවලත් සාපේක්ෂව ඩෙංගු රෝගීන්ගේ වැඩිවීමක් පෙන්නුම් කරනවා. එයට හේතු වෙන්නේ ගිය් වසරේ අන්තිම මාස දෙකේදී වැඩි රෝගීන් ප්‍රමාණයක් මේ පළාත්වලින් වාර්තා වීමයි. එහි දිගුවක් ලෙස එය හඳුන්වන්න පුළුවන්.
ඩෙංගු රෝගය මර්ධනය කිරීම සහ මුහුණ දීම වෙනුවෙන් අපට කල හැකි දේවල් මොනවද?
මේ ඩෙංගු පැතිරෙමින් පවතින දවස්. ඔබට පැය 48 තුළ අඩු නොවන උණ පවතිනවා නම් අනිවාර්යෙන්යෙන්ම පවුලේ වෛද්‍යවරයා වෙත හෝ ළඟම තිබෙන රෝහලට යා යුතු වෙනවා. ඩෙංගු දැයි සැක හැර දැන ගැනීමට එය කළ යුතුම වෙනවා. සායනික රෝග ලක්ෂණ පරික්ෂා කිරීම සහ පරීක්ෂණාගාර වාර්තා පරීක්ෂා කිරීමෙන් පසු රෝග විනිශ්චය කර ගත හැකි වෙනවා.
මේ දවස් වල දරුවන් පාසල් වල විභාග කටයුතු වලට සහභාගි වෙමින් සිටිනවා. මදුරු දෂ්ඨන වලට ලක්වීමේ හැකියාව ද පවතිනවා. ඩෙංගු මදුරුවා දෂ්ට කරන්නේ උදේ කාලයේදී සහ සවස් කාලයේ දී බව අපි හැම කෙනෙක්ම දන්නා කාරණාවක්. ඇඟේ නිරාවරණය වන කොටස්වල මදුරු විකර්ෂකයක් ගැල්වීම, දරුවන් පිටතට යැවීමේදී අත් දිගට සහ කකුල් වැසෙන සේ ඇඳුම් ඇන්දවීම, නිවසේ ඇතුලත සහ පිටත පවිත්‍රතාවය පවත්වා ගැනීම ඉතාම වැදගත්. ඒ වගේම දරුවාට ඩෙංගු පවතිනවා නම් අවදානම් රෝග ලක්ෂණ ගැන නිරන්තරයෙන් විමසිලිමත් විමසිලිමත්වීම මවක් විසින් කල යුතුම වෙනවා. ප්‍රමාද වී රෝහල් ගත වීම නිසා ජීවිත රැක ගැනීමේ අවදානමක් මතු වෙන බව සිහි තබා ගන්න. එවිට වෛද්‍යවරුන්ට ජීවිත බේරා ගැනීමට විශාල ප්‍රයත්නයක් දැරීමට සිදුවෙනවා. අනෙක් කාරණාව වන්නේ දරුවකු රෝගී වූ පසු සුවවීම සඳහා විවේකය අත්‍යවශ්‍ය වෙනවා. උණ අඩු වූ වහා අමතර පංති, ක්‍රීඩා පුහුණුවීම් ආදියට යැවීමට කලබල වෙන්න එපා. දරුවන්ට නිසි විවේකය ලබාදීම ඉතාම වැදගත් වෙනවා.
මාරාන්තික ඩෙංගු රෝගයෙන් වැළකීමටත් රෝගය වැළඳී තිබේ නම් සුවපත් වීමටත් මේ කාරණා ඉතාම ඉවහල් වෙනවා. මවක් ලෙස මේ කාරණා සම්බන්ධයෙන් ඔබේ අවධානය යොමු වීම ඉතාම වැදගත්. මේ සම්බන්ධයෙන් වටිනා සහ නිවැරදි තොරතුරු ලබා දීම වෙනුවෙන් ජාතික ඩෙංගු මර්දන ඒකකයටත් වෛද්‍ය ලහිරු කොඩිතුවක්කු මහතාටත් SmartLady.lk විශේෂ ස්තූතිය හිමි වෙනවා.