කුස සැහැල්ලු වී දරුවා දෝතට එන තුරු අම්මා කෙනෙකුට ඇත්තේ නොඉවසිලිමත් බලාපොරොත්තුවක්. කුඩා බිළිඳා දෝතට ගත් විට සතුට සමග මුසු වූ වගකීම්සහගත බියමුසු හැඟීමක් ද නොදැනෙනවා නොවේ. ලෝකයට අමුත්තෙකු වූ පුංචි සිඟිත්තෙක් රැක ගැනීම පහසු කාර්යයක් වන්නේ නැහැ. වැදෑමහෙන් වෙන් වී පිටතට එන විට දරු පැටියා රැගෙන එන කුසේ දී මව සමග යා වූ බැඳීමේ සළකුණ වූ පෙකණියෙහි තුවාලය සුව කර ගැනීම පළමු කාර්යය බවට පත් වෙයි.
වැදෑමහේ බැඳීම
මව් කුසෙහි පිළිසිඳගත් දරුවකු සහ මව අතර සම්බන්ධතාවය බැඳී තිබෙන්නේ පෙකනි වැලෙන්. මව් කුසේදී දරුවාගේ වර්ධනයට අවශ්‍ය කරන සියලුම පෝෂණ කොටස් දරුවා වෙත මව හරහා සම්ප්‍රේෂණය වන්නේ පෙකනි වැල තුළින්. කුස තුළ සිටින බිලිඳෙක් ජීවත් කරන්නේ මේ මව සමග වන පෙකනි වැලෙහි සම්බන්ධතාවයයි. දරුවා ඉපදෙන විට පෙකනි වැලේ සම්බන්ධතාවය බිඳ දමනවා. නමුත් ඉපදුන දරුවාගේ පෙකණිය මත පෙකනි වැලෙන් කොටසක් ටික දිනක් යනතුරු රැඳී තිබෙනවා. එම කොටස වියළී යන තුරු ඉතා හොඳින් ප්‍රවේසමෙන් පිරිසිදුව තබා ගත යුතුයි. නැතිනම් එම තුවාලයෙන් ශරීරයට විෂබීජ ගමන් කර දරුවාට විශාල ආසාදන තත්ත්වයකට මුහුණ දෙන්නට වුවත් සිදුවිය හැකියි.
පෙකනිය පිරිසිදු කරන විට
දරුවා පිරිසිදු කිරීම සඳහා නැවීමේ දී හෝ ඇඟ සේදීමේ දී පෙකනිය ජලයෙන් තෙමුණු පසු ඒ ආශ්‍රිත ප්‍රදේශයම ඉතාම පිරිසිදු සිනිඳු රෙදි කැබැල්ලකින් හෝ වන්ද්‍යකෘත කරන ලද පුළුන් කැබැල්ලකින් තෙතමනය ඉවත් කළ යුතුයි. ඉන්පසු හොඳින් වාතාශ්‍රය ලැබෙන පරිදි පෙකනි ප්‍රදේශය නිරාවරණය කර කර තැබිය යුතුයි. පෙකනියට සුළං වැදීම මගින් තුවාලය ඉතා ඉක්මනින් සුවකර ගැනීමට හැකියි. පෙකනිය ආවරණය කර වසා තැබීම මගින් විසබීජ වර්ධනය වී තුවාලය ආසාදනය විය හැකියි.
නැපි මාරු කිරීමේ දී
දරුවා ගැහැනු දරුවකු වුවත් පිරිමි දරුවකු වුවත් නිතරම නැපියක් අන්දවා තැබීමට වගබලා ගත යුතු වන්නේ දරුවකුගේ මුත්‍රා පෙකනිය මත තැවරීමෙන් ඉතා ඉක්මනින් විසබීජ ශරීරගත විය හැකි නිසා. විශේෂයෙන්ම පිරිමි දරුවන් මුත්‍රා කරන විට සිරුරෙන් ඉහලට විදීම හේතුවෙන් අනිවාර්යෙන්ම පෙකනිය මුත්‍රාවලින් නැහැවීමට ඇති ඉඩකඩ වැඩියි. ඒ නිසාම දරුවාට සෑම අවස්ථාවකම නැපියක් අන්දවා තැබිය යුතුයි. එසේම දරුවා මුත්‍රා කරන සෑම අවස්ථාවකම අන්දවා තිබෙන නැපිය මාරු කළ යුතුයි.
බොහෝ විට මේ තුවාලය ඉතා ඉක්මනින් වියළා ගන්නට සිතමින් ඇතැම් අය තුවාලය මත විවිධ දේ ගල්වන්නට උත්සාහ කරනවා. සාම්ප්‍රදායික මිත්‍යා මතවලට ගරු කරන අය ඉපැරණි ක්‍රම අනුගමනය කරන බව පවසමින් විවිධාකාර ආලේපන ගල්වන්නට උත්සාහ කරන අතරේ නූතනයට ගැලපෙන මව්වරුන් පවා ස්ප්රීත්තු වර්ග ආදිය ගල්වන්නට උත්සාහ කරනවා. මේ කිසිවක්ම පෙකනියෙහි ගැල්වීම සුදුසු නැහැ. හොඳින් වාතාශ්‍රය ලැබෙන සේ පිරිසිදුව තැබීම පමණක් කළ යුතුයි.
දරුවාට නැපියක් කැඳවීමේදී සෑම විටම එය පෙකණියට පහලින් රඳවන සේ තැබිය යුතුයි.
●ග්‍රැනියුලෝමා
උපතෙන් පසු පෙකනියේ රැඳී තිබෙන කුඩා කොටස දින දෙක තුනකදී ගැළවී වැටෙනවා. ඉන්පසු එය රැඳී තිබෙන තැන තෙත් වූ කුඩා තුවාලයක ස්වරූපයක් ගන්නවා දකින්නට පුළුවන්. එය සාමාන්‍ය තත්ත්වයක්. සති දෙකක පමණ පමණ කාල සීමාවක් තුළ එය සම්පූර්ණයෙන්ම වියළී සුව වෙනවා.
සාමාන්‍ය තුවාලයක් ටිකෙන් ටික වියළී යන විට අපට එය පැහැදිලිව හඳුනා ගන්නට පුළුවන්. පෙකනිය මත තිබෙන මෙම කුඩා තුවාලයත් දිනෙන් දින වියළි යන ආකාරයත් අපට පැහැදිලිව දර්ශනය වෙනවා.
පෙකනි වැල වැටී දින කිහිපයක් ගත වෙන විට ඒ ස්ථානයේ රෝස පාට මස් දල්ලක් වැනි ස්වභාවයක් දක්නට ලැබෙනවා. එය හඳුන්වන්නේ ග්‍රැනියුලෝමා එකක් ලෙස. පෙකණියෙහි ග්‍රැනියුලෝමා තත්ත්වයක් ඇති වෙන්නට නිශ්චිත හේතුවක් නැහැ. එවැනි තත්වයක් පිළිබඳව අපට දින දෙක තුනක් නිරීක්ෂණය කර ප්‍රතිකාර අවශ්‍ය ද යන්න තීරණය කළ හැකියි. ඇතැම්විට එය ඉබේම වියළි සුවවී යන්නටත් ඉඩ තිබෙනවා. එසේ වියළී යන්නේ නැති නම් දරුවා ළමා රෝග වෛද්‍ය වරයෙකුට හෝ ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී තුමාට පෙන්වා ප්‍රතිකාර ලබාගත යුතුයි.
ආසාදනයක් ද?
දරුවාගේ පෙකනිය වටා රතු පැහැ ගැන්වී ඇත්නම්, පෙකනිය ආශ්‍රිත ප්‍රදේශයට අත තැබූ විට ශරීරයේ වෙනත් තැන් වලට වඩා උණුසුම වැඩියෙන් දැනෙනවා නම්, එසේම සැරව ගැලීම හෝ අධික තෙත ගතියකින් යුක්ත නම්, දුර්ගන්ධයක් දැනෙනවා නම් මොහොතක් හෝ පමා නොකර වෛද්‍ය උපදෙස් ලබා ගත යුත්තේ එය දැඩි අවදානම් අවස්ථාවක ආරම්භයක් විය හැකි බැවින්.
දරුවා මවගේ කුස තුළ සිටියදී දරුවාට පෝෂණය සැපයීම පෙකනි වැල හරහා සිදු වූ නිසා පෙකනිය ආශ්‍රිතව ධමනි දෙකක් සහ එක ශිරාවක් පිහිටා තිබෙනවා. ඒ නිසාම ලේ ගමනා ගමනයට සෘජු සම්බන්ධයක් පෙකනිය සමග තිබෙනවා. ආසාදනයක් සිදුවූවොත් ඇතුළුවන විසබීජ කෙලින්ම රුධිරයට එකතු විය හැකියි.
මව් කුසේදී පෙකණිය ආශ්‍රිතව ධමනි දෙක පිහිටා තිබෙන්නේ දරුවාගේ ශරීරයට යම්කිසි අහිතකර දෙයක් ඇතුළු වී තිබෙනවා නම් වැදෑමහ තුළින් එය පිටතට දැමීම සඳහා. ශිරාව පිහිටා තිබෙන්නේ දරුවාගේ ශරීරයට අවශ්‍ය පිරිසිදු රුධිරය වැදෑමහ තුළින් දරුවාගේ ශරීරයට ලබා දීමට. කුස තුල බිළිඳාගේ රුධිර සංසරණය පද්ධතිය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක වී තිබෙන්නේ ඒ ආකාරයටයි. පෙකනිය හි ඇති තෙත ස්වභාවයෙන් යුතු තුවාලය වියලී යන තුරු ඉතාම සුරක්ෂිතව දරුවා රැක ගත යාතු වන්නේ පෙකනියෙන් විසබීජයක් ඇතුලු වීමෙන් ඇතිවන අවදානම සුළුකොට තකන්නට බැරි නිසයි.