අම්මා කෙනෙක් වෙන්න යනවා කියල දැනගත්ත මොහොතෙ ඉඳන් අපි සූදානම් වෙන්නෙ ලස්සන නීරෝගී පුංචි පැටියෙක් මේ ලෝකෙට බිහිකරන්නනෙ. නීරෝගී දරුවෙක් බිහිවෙන්න නං මුලින්ම නීරෝගී අම්මෙක් ඉන්න ඕනෙ. තවත් විදියකින් කියනවා නම් ඔබ යහපත් සෞඛ්‍ය තත්වයකින් ඉන්න ඕනෙ.
ඉතින් ඔබ හොඳින් ඉන්නවද කියලා තහවුරු කරන්න, ඒ වෙනුවෙන් විශාල පිරිසක් කැපවෙලා ඉන්නවා. ඇත්තටම ඒ කවුද? ශ්‍රී ලංකාවේ මාතෘ සායනවල සෞඛ්‍ය සේවකයො ඔක්කොම ඔබ වෙනුවෙන්, ඉපදෙන්න ඉන්න ඔබේ දරුවා වෙනුවෙන් ඔබට උදව් කරන්න ලෑස්තිවෙලා ඉන්නවා. ඔබට කරන්න තියෙන්න අදාල දවසට ඔබට නියම කරන මාතෘ සායනවලට සහභාගීවෙලා ඒවගෙන් ලබාදෙන උපදෙස් හරියට අනුගමනය කරන එක විතරමයි.
අද ලිපියෙන් අපි කතා කරන්න යන්නෙ ගර්භණී සමයේ කලයුතුම පර්යේෂණ ගැන. අපි මාස තුනෙන් තුනට කරන පරීක්ෂණ වෙන වෙනම බලමු.
මුල්ම මාස 3දී
- රුධිර පරීක්ෂණ
රුධිරයේ හිමොග්ලොබින් ප්‍රමාණය, රුධිර ගණය, HIV/Syphilis/Hepatitis B කියන රෝග සඳහා පරීක්ෂා කිරීම තමයි ප්‍රධාන වශයෙන්ම කරන්නෙ. ඊට අමතරව ඔබ වෙනත් රෝගයකට ප්‍රතිකාර ගන්න කෙනෙක්නම් ඊට අදාල පරීක්ෂණත් කරනවා. උදාහරණයක් විදියට ඔබ තයිරොයිඩ් හෝමෝන සම්බන්ධ රෝගී තත්වයකට ප්‍රතිකාර ගන්නවනම් TSH/T4 පරීක්ෂණයක් කරගෙන එන්න කියලා වෛද්‍යවරයා ඔබට කියාවි. ඒ නිසා ඔබ වෙනත් මොනාමහරි රෝගී තත්වයකට ප්‍රතිකාර ගන්නවනම්, කලින් ගත්තනම් ඒ සටහන් සහ වාර්තා ඔක්කොම සායනයට යන දවසෙ අරගෙන යන්න අමතක කරන්න එපා.
- මුත්‍ර පරීක්ෂණ
මුත්‍රා වල ප්‍රෝටීන සහ සීනි මට්ටම තමයි පරීක්ෂා කරලා බලන්නෙ. හැම සායන දිනයකදිම මේ පරීක්ෂණය කරනවා.
- PPBS පරීක්ෂණය
මේ පරීක්ෂණය කරන්නෙ ඔබේ රුධිරයේ සීනි මට්ටම වෙනස් වෙන හැටි බලාගන්න. ඔබ නිරාහාරව ඉන්නකොට එක සාම්පලයකුත්, කාලා පැය දෙකකට පස්සෙ තවත් සාම්පලයකුත් ගන්නවා. පස්සෙ ඒවගෙ සීනි මට්ටම බලලා ඔබට ආහාර පාලනයට උපදෙස්/බෙහෙත් ලබාදේවි.
- පලමු ස්කෑන් පරීක්ෂණය – Dating Scan
මේ ස්කෑන් එක කරන්නෙ කලළයේ සති ගාණ හරියටම තීරණය කරන්න. සාමාන්‍යයෙන් නිරවද්‍යතාව වැඩිවෙන්න නම්, සති 12 සම්පූර්ණ වෙන්න කලින් ස්කෑන් එක කරන්න ඕනෙ. ඒ හින්දා හරිම කාලයෙදි මේ ස්කෑන් එක අනිවාර්යයෙන්ම කරගන්න වගබලා ගන්න ඕනෙ. ඊලඟට කරන ස්කෑන්වලින් ඔබේ දරුවගෙ වර්ධනය හරියට වෙනවද කියලා බලාගන්න පුලුවන් මෙන්න මේ ස්කෑන් එක සති 12ට කලින් කලොත් විතරයි. ඒ විතරක් නෙමෙයි ඔබ දරුවා බිහිකරන දිනයත් තීරණය වෙන්නෙ මේ ස්කෑන් එකෙන්ම තමයි.
- උස, බර, උසට සරිලන බර සහ රුධිර පීඩනය
පලවෙනියටම සායනයට ගිය දවසෙ ඉස්සෙල්ලම කරන්නෙ උසයි බරයි බලලා, BMI අගය හදලා ඔබේ උසට ගැලපෙන විදියට බර තියෙනවද කියල තීරණය කරන එකයි. BMI අගය අඩුවීමයි, වැඩිවීමයි දෙකම ඔබේ කුසේ ඉන්න දරුවට අහිතකර ලෙස බලපානවා.
අනිත් වැදගත්ම දේ තමයි රුධිර පීඩනය පරීක්ෂා කිරීම. මේකත් හැම සායන දවසකදිම අනිවාර්යයෙන්ම බලන, බලාගන්න ඕනෙ දෙයක්. ඔබේ රුධිර පීඩනය දිගටම 140/90 ට වැඩිනම් ඒක දරුවටත් ඔබටත් අවදානම්!
දෙවෙනි මාස 3දී
- රුධිරයේ හිමොග්ලොබින් ප්‍රමාණය
- OGTT පරීක්ෂණය
කලින් වගේම ඔබ නිරාහාරව ඉන්නකොට එක රුධිර සාම්පලයකුත්, සීනි ද්‍රාවණයක් බොන්න දීල පැය දෙකකට පස්සෙ තවත් සාම්පලයකුත් ගන්නවා. පස්සෙ ඒවගෙ සීනි මට්ටම බලලා ඔබට ආහාර පාලනයට උපදෙස්/බෙහෙත් ලබාදේවි.
- දෙවෙනි ස්කෑන් පරීක්ෂණය – Anomaly Scan
මේ ස්කෑන් එකෙන් කරන්නෙ බබාගෙ අවයව හරියට වර්ධනය වෙලාද, අසාමාන්‍යතා මොනවත් තියෙනවද වගේ දේවල්. සාමාන්‍යයෙන් කලළයට සති 18-21ත් අතර කාලයෙදි තමයි මේ පරීක්ෂණය කරන්නෙ.
අවසන්මාස 3දී
- රුධිරයේ හිමොග්ලොබින් ප්‍රමාණය
- තුන්වෙනි සහ හතරවෙනි ස්කෑන් පරීක්ෂණ – Growth Scan & Pre-Birth Check Up
තුන්වෙනි ස්කෑන් එකෙන් බබාගෙ වර්ධනය සති ගාණට ගැලපෙන්න තියෙනවද, වෙන ගැටලු මොනාත් තියෙනවද කියල තමයි බලන්නෙ. සාමාන්‍යයෙන් බබාට සති 32 සම්පූර්ණ වෙන්න කලින් තුන්වෙනි ස්කෑන් එක කරනවා. අන්තිම ස්කෑන් එක කරන්නෙ සති 36න්. මේ වෙනකොට දරුවා බිහිකරන්නෙ නෝමල්ද සීසර් ද කියලත් ගොඩක් වෙලාවට තීරණය වෙලා තියේවි.
මම අද මේ කතාකලේ ගර්භණී මවක් විදියට ඔබ කලයුතුම පරීක්ෂණ ගැන. ඔබ/දරුවා සමහරවිට අවදානම් තත්වයක ඉන්නවනම්, ඔබ වෙනත් රෝගයකට ප්‍රතිකාර ගන්නවනම් ඔබේ වෛද්‍යවරයා මීට වඩා වැඩිපුර ඔබව පරීක්ෂා කරාවි. නමුත් කිසිම වෙලාවක මේ මූලික පරීක්ෂණ ටික අතපසු කරගන්න එපා! ඒක ඔබට/දරුවට/දෙන්නටම නරක විදියට බලපාන්න පුලුවන්.