මනාලයෙක් මංගල දිනයේදී ඔහුගේ මනාලියට ලබා දෙන උණුසුම් surprise එකක වීඩියෝවක් මුළු ලොවෙහිම හදවත් සසල කරමින් අන්තර්ජාලයේ සංසරණය වෙනවා. 2020 වසරේ සිදු වූ සිදුවීමක් වුවත් තවමත් එය සෑම කෙනෙකුම පාහේ නරඹන වීඩියෝවක් බවට පත්ව ඇත්තේ එය එතරමට සංවේදී නිසා.මානුෂීය බව ගැන නැවත නැවතත් සිතන්නට අපට ඉඩ තබන්නක් නිසා.
මනාලයාගේ නම Jose Victor. වාසනාවන්ත මනාලිය Cintia. බ්‍රසීලයේ Caxias do Sul හි තමයි මේ මංගල උත්සවය පැවතුණේ.
මෙහි සියලු දෙනා සංවේදී වූ කාරණය නම් මනාලයා මංගල මුදුව මංගල සභාවට ගෙන ඒමට තෝරාගෙන තිබුණේ ලාංකීය සමාජයේ නම් නිරතුරු කොන් කිරීමට ලක් කරන ඩවුන්ස් සින්ඩ්‍රොම් දරුවන් පිරිසක් වීමයි.
මේ සුන්දර කුඩා දරුවන් පිරිස, භාෂා හා කථන චිකිත්සකවරියක් Cintiaගෙන් අධ්‍යාපනය ලබන්නන්.
මනාලිය මේ දර්ශනයෙන් ප්‍රීතියෙන් පිනා යනවා. සතුට දරා ගැනීමට නොහැකිවන ඇයගේ දෑස් තෙත් වෙන්නේ නිතැතින්.
මල් වගේ දරුවන් සත් දෙනෙක් මේ සඳහා සහභාගී වී තිබුණා. ඔවුන් පේළියට මංගල සභාවට පැමිණෙන විට අමුත්තෝ නැගිට අත වනා ඔවුන්ව පිළිගනු ලැබුවා. මනාල යුවළ බොහෝ වෙලාවක් ඔවුන්ව වැළඳගනිමින් සිය ආදරය ප්‍රකාශ කළා.
මනාලයා කුඩා දරුවන් අතරින් වැඩිමල් පිරිමි දරුවා සමග අතට අත දුන් අතර දැරියකට උණුසුම් වැළඳගැනීමක් ලබා දුන්නා.
මේ ගැන Instagramහි පළ කර තිබූ වීඩියෝවක Cintia අදහස් දැක්වූයේ මෙලෙසින්.
“එය ඉතා හැඟීම්බර අවස්ථාවක් වුණා. මොකද මම මුලින් පූජකතුමාගෙන් මගේ මේ දරුවන් පිරිස පල්ලියට රැගෙන එන්නට පුලුවන්ද අහනවිට ඔහු සිය විරුද්ධතාව ප්‍රකාශ කළා “
“ඇත්තට ම සිදුවෙලා තිබුණේ මේකයි. මගේ සැමියා ඒ වනවිටත් මේ කටයුත්ත පූජකතුමාගේ සහයෝගයෙන් සූදානම් කරලායි තිබිලා තියෙන්නේ. “
“මම ඇත්තට ම මගේ වෘත්තියට ආදරේ කරනවා. මොකද මේ දරුවන්ට වඩාත් යහපත් තත්ත්වයකින් යුතු ජීවිතයක් ලබා ගන්නට උදව් කරන්නට මම වාසනාවන්ත වෙලා තියෙනවා. “
තව දුරටත් අදහස් දක්වන Cintia මෙසේ පවසනවා.
“හැම මනුස්සයෙක්ට ම සැඟවුණු දක්ෂතා තියෙනවා. අපි මේ දරුවන් දිහා බලන්න ඕනෙ ඔවුන්ට නොහැකි දේවල්වලට එපිටින්. එවිටයි අපිට හැකියාව ලැබෙන්නේ ඔවුන්ට ජීවිතයේ ඇතිවන අභියෝග ජය ගැනීමට උපකාරී වන්නට. “
Cintiaගේත්, Joseගේත් මේ මංගල උත්සවය ගැන ලොව පුරා වේගයෙන් පැතිර යනවා. ඔවුන් ලොවට දෙන්නේ සුවිශේෂ පණිවුඩයක්. දරුවන්ට ආදරය කරන්නට සීමා තිබිය යුත්තේ නැහැ.අපේ රට තුළ මෙවැනි ආබාධිත දරුවන් කොන් කිරීමත්,ඔවුන්ට සමාජයේ ඉඩක් නොදීමත් නිතරම සිදු වන්නක්.මලක පෙත්තක් තරම් සිනිඳු දරුවෙකුගේ හදවතේ ජීවිත කාලයම පවතින තරමට පළුදු වීම් ඇති වන්නට ඒ කොන් කර දැමීම් හේතු වෙන්න පුලුවන්.ඒ වගේම ආබාධයක් ඇති දරුවෙක් හදා වඩා ගන්නා මවක් ද නිරන්තරයෙන්ම මානසික බිඳ වැටීම් වලට ලක් කරන්නට මේ තත්ත්වයන් හේතු වනවා. Cintia සහ Jose ලොවට ම ආදර්ශයක් දෙමින් පෙන්වා දෙන්නේ, ඕනෑ ම දරුවෙක්ගේ සහජ කුසලතා ඔපමට්ටම් කළ විට ඔවුන්ගේ ජීවිතය දීප්තිමත් වීම වළක්වන්නටත්, අනෙත් අයගේ ජීවිත දීප්තිමත් කරන්නටත් ඔවුන්ගේ ශාරීරික හෝ මානසික දුබලතාවන්ට නොහැකි බවයි.
දරුවන් මලක මෙලෙක ඇතිව උපදින්නේ අනාගත ලෝකය සුවඳවත් කරන්නයි.ඒ මොළොක් සිත් ප්‍රවේසම් කිරීම අපේ වගකීමක්.