මව්කුස තුළ දරු පැටියාගේ විකසනය කියන්නේ ඉතා චමත්කාර ජනක අවධි පෙළක්. දරුවාගේ කායික වර්ධනය එක්කම මානසික වර්ධනයත් කළල අවධියේදි සිදුවනවා. වැඩුණු දරුවාගේ සාමාජයීය හැසිරීමට මේ කළල අවධියේ පටන් වන මානසික සංවර්ධනය වැදගත් කියලා අපේ පැරැන්නන් ඒ කාලෙ ඉඳන් අවබෝධ කරගෙන සිටියා. ඒ නිසා තමයි ඔවුන් විවිධාකාරයේ ක්‍රියාකාරකම් වලින් ගැබිනි මවට නිතරම ප්‍රියජනක වටපිටාවන් නිර්මාණය කරලා කළලයේ බුද්ධි වර්ධනය වෙනුවෙන් උදව් වුණේ. අපි අද මේ ලිපියෙන් කළලයේ බුද්ධි වර්ධනය වෙනුවෙන් ඔබට කළ හැකි දේ සාකච්ඡා කරනවා.
මොළයේ සහ ස්නායු පද්ධතියේ විකසනය ආරම්භ වන්නේ කොයි කාලයේදී ද?
කළලයට සති පහක් හයක් වන විට මොළයේ සහ ස්නායු පද්ධතියේ විකසනය ආරම්භ වනවා. ක්‍රම ක්‍රමයෙන් වැඩෙන දරුවා මව් ගැබෙන් පිට බාහිර ලෝකයේ සිදුවන දෑ ග්‍රහණය කරගන්නට පටන් ගන්නවා. කායික වර්ධනය හා සමගාමීව දරුවාගේ මානසික සංවර්ධනය මෙයාකාරයෙන් කුස තුළදීම පටන් ගන්නවා.
ගර්භණී ඔබ කුසේදී දරුවාගේ මානසික සංවර්ධනය වෙනුවෙන් මවක් ලෙස ඔබට කළ හැකි දේවල්
දරුගැබ සමඟ කතා කරන්න. දරුගැබ වැඩෙනවාත් එක්කම දරුවා පිටස්තර ශබ්ද වලට සවන් දෙන්නටත් , ඊට අනුරූපව ප්‍රතිචාර දක්වන්නට පටන් ගන්නා අයුරු ඔබ අත්විඳ ඇති. ඔවුන් ඔබ පවසන දේ අරුත වචනාර්ථයෙන් තේරුම් නොගත්තත් ඒ සංඛ්‍යාතයන් ග්‍රහණය කරගන්නට සමත්. නිතර නිතර දරුගැබට ආදරය පිරුණු වචන වලින් කතා කිරීමෙන් දරුවාව ප්‍රතිචාර දක්වන්නට උත්තේජනය කරන්නට පුළුවන්.
කුසේ සිටින දරුවාට ඇසෙන්නට ඔබට ළමා කතා, ප්‍රියජනක තේමාවකින් යුතු කතන්දර හඬනඟා කියවන්න පුළුවන්. නැලවිලි ගීත ගායනා කරන්න පුළුවන්. මතක තියාගන්න, බඩ ඇතුළට වෙලා කළල තරලය පීර පීරා පීනගෙන ඉන්න ගමන් එයා එළියේ වෙන හැමදේකටම කන් දීගෙනයි ඉන්නේ! ගර්භණී අවධියේ අන්තිම කාලේ වෙද්දි කුසේ ඉන්න දරුවාට නිතර නිතර ඇහෙන වචන මතක තියාගන්නත් පුළුවන් කියල පර්‍යේෂණ වලින් අනාවරණය වෙලා තියෙනවා.
දරුවාගේ මානසික සංවර්ධනයට මවගේ පෝෂණය බලපාන්නේ කොහොමද?
සමබර ආහාර වේලක් ලබාගන්න. ප්‍රධාන පෝෂ්‍ය පදාර්ථ වෙන කාබෝහයිඩ්‍රේට් , ප්‍රෝටීන් සහ මේදය නියම අනුපාතයට අඩංගු ආහාර වේලක් ලබාගන්න. මේ ආහාර වේලේ විටමින් සහ ඛනිජ ලවණ අනිවාර්‍යයෙන් ඇතුළත් විය යුතුයි..
ඔමේගා – 3 මේද අම්ල කළලයේ මොළයේ වර්ධනයට අත්‍යවශ්‍යයයි. ඔමේගා 3 අඩංගු ආහාර වන අලුත් මාළු, සෝයා බෝංචි , නිවිති වැනි ආහාර බහුලව ලබාගන්න.
යකඩ අඩංගු නිවිති වගේ ආහාරත් ඒ වගෙයි. යකඩ වලින් දරුවාගේ මොළයට ලේ ගමනාගමනය යාමනය කරනවා. ඒ වගේම ආමන්ඩ්, කජු වගේ ඇට වර්ගත් ආහාරයට ගැනීම හොඳයි.
දරුවාගේ මානසික සංවධනය වෙනුවෙන් ඔබේ ජීවන රටාව කෙසේ විය යුතු ද?
- නීරෝගිව ක්‍රියාකාරීව සිටින්න. ගර්භණී සමයේ සුදුසු ව්‍යායාම වල නිරත වීම මගින් කළලයට රුධිර සංසරණය හොඳින් සිදුවෙනවා. ඒවගේම ව්‍යායාම කරද්දි ස්‍රාවය වෙන හෝමෝන දරුගැබේ වර්ධනයට වගේම දරුවාගේ මොළයේ වර්ධනයට එකලෙස උදව් වෙනවා, විශේෂයෙන් මොළයේ මතකය යාමනය කරන කොටසෙහි.
- මෘදු සංගීතයට සවන් දෙන්න. කුසේ ඉන්න දරුවෝ සංගීතයට කැමතියි. මෘදු සංගීතයෙන් සෙරටෝනින් ස්‍රාවය වැඩි කරනවා. සෙරටොනින් හදුන්වන්නේ සතුටු හෝමෝන නමින්. සෙරටොනින් මගින් අපේ සිතුවිලි ධනාත්මක කරනවා. අපිව සතුටින් තියනවා. ඒ වගේම තමයි දරු ගැබත් සතුටින් තියන්න සෙරටොනින් වලට පුළුවන්. සෙරටොනින් වලින් මානසික ඒකාග්‍රතාවය ඇති කරවනවා. දරුගැබ සංසුන්ව තබනවා. සංසුන්ව සතුටින් ඉන්නකොට මිසක මානසික සංවර්ධනයක් වෙන්න පුළුවන් වෙන්නෙ මොන වෙලාවටද….
දරුවාගේ උපතින් පසුව දරුවාට මවුකුස තුළදි දැනුණ ඒ සන්සුන් ප්‍රියජනක අවස්ථා මතකයේ තිබෙනවා. උපතින් පසුව තමා මවුකුසයේ හිඳින විට ඇසූ සංගීතය යළි ඇහෙද්දි ඔවුන් ඒ මතකයන් මෙනෙහි කරන බව පර්‍යේෂණ වලින් සනාත වෙලා තිබෙනවා.
- මෘදුව කුස සම්භාහනය කරන්න. කුස තුළ සිටින සිඟිත්තාට සති 20 වගේ පටන් ඔබේ අත්ලේ පහස දැනෙනවා. මවගේ පහස දරුවාව සංසුන් කරනවා. ඉපදුණාට පස්සේ වගේම ඉපදෙන්න කලිනුත් මෙය වලංගුයි. ඔබට වගේම දරුවාගේ පියාටත් කුස සම්භාහනය සිදුකළ හැකියි. දරුවාට මවගේත් පියාගේත් සංවේදනයන් වෙන වෙනම ග්‍රහණය කරගත හැකි බව පර්‍යේෂකයන් සොයාගෙන තියෙනවා. ඉතිං එය දරුවාගේ මනසට මොළයට හොඳ ව්‍යායාමයක් වනවා නොඅනුමානයි!
- තයිරොයිඩ් නියමිත මට්ටමේ ඇතිබවට සනාත කරගන්න. මවගේ තයිරොයිඩ් මට්ටමේ කළලයේ මොළයේ වර්ධනයට බලපානවා. එමනිසා අයඩින් අඩංගු ලුණු සහ අනෙකුත් ආහාර නිසි මට්ටමින් භාවිතා කරන්න.
- විටමින් D හොඳින් ලබාගන්න. ඔටිසම් වගේ තත්වයන් ඇතිවෙන්න ප්‍රධාන හේතු තමයි විටමින් D හිඟකම. ලංකාව වගේ රටක උදෑසන හිරු එළියට නිරාවරණය වීමෙන් නොමිලේම විටමින් D ලබාගන්න පුළුවන්. උදෑසන හිරු එළියට නිරාවරණය වීම විටමින් D විතරක් නෙවෙයි ඔබට මානසික සහනයත් ගෙන එනවා නොඅනුමානයි. ගැබිනි ඔබ සතුටින් නම් සතුටින් සිටින ඔබේ දරුවාගේ මානසික සංවර්ධනයත් ඉහළයි!
ගැබිනි ඔබගේ යහපත් මානසික තත්වය උදෙසා,
හිතවතුන් හා ප්‍රියජනක කතාබහක යෙදෙන්න.
ආගම් භක්තිමත් නම් ආගමානුකූල ක්‍රියාකාරකම් වල යෙදෙන්න.
හොඳින් නිදාගන්න.
මේ වෙනුවෙන් ඔබ වැළකිය යුතු දේවල් මොනවාද?
ඔබ මත්පැන්, දුම්වැටි භාවිතා කරන කාන්තාවක් නම් ගර්භණී සමය තුළදී ඒවයින් ඈත් වෙන්න. ක්ෂණික ආහාර වලින් ඈත් වෙන්න. දරුගැබට නුසුදුසු ආහාර වලින් ඈත් වෙන්න.
නපුරු ,නරක , කලහකාරී දේවල් වලින් ඈත් වී සිටින්න.අපි හැමෝම කැමතියි අප්‍රසන්න දේවල් වලින් ඈත් වෙලා ඉන්න. අප්‍රියජනක දේවල් , නපුරු දේවල් නිසා අපේ හිත් කිළිටි වෙනවා. ගර්භනී ඔබ හිත නොහොඳින් ඉන්න වෙලාවට, පීඩනයෙන් ආතතියෙන් සිටිද්දි ඒක දරුගැබට බලපානවා.
මේ බව දැනගෙන හිටපු නිසා තමයි අපේ පැරැන්නන් ගැබිනි මවුවරුන්ට නිතරම සාමකාමී වටපිටාවක් හදලා දුන්නේ. වෙනදා අමනාපෙන් හිටි නෑයන් පවා ඒ කාලෙට ඒ කෝන්තර අමතක කරලා ගැබිනි මව කායිකව වගේම මානසිකව පහසුවෙන් තැබුවා.ඉතිං ගැබිණි ඔබ ඔබව මානසිකව කළඹන තැන් වලින් හැකිතාක් ඈත් වෙලා සතුටින්ම ඉන්න. එය ඔබේ දරුවාගේ මානසික සංවර්ධනයත් එයින් එහාට සාමාජයීය සංවර්ධනයටත් එක ලෙසින් උදව් වෙනවා.
කුසතුළදී පටන් නිසි ලෙස මානසිකව සංවර්ධනය වූ දරුවෙක් සමාජයට දායාද වන්නේ ගුණවත්, සතිමත්, බුද්ධිමත් පුරවැසියෙක් ලෙසින්.කුසතුළ වැඩෙන සිඟිත්තා බුද්ධිමත් දරුවෙක් විදියට මෙලොවට ගෙනෙන එක අම්මෙක්ගේ වගකීමක්, වගේම යුතුකමක්….