කොහොමද මේ තත්වය ඇතිවෙන්නේ?
ගැබිණි සමයේදි ඇතිවන දියවැඩියාව ඉතා බරපතල ලෙස අවධානය යොමු කළ යුතු තත්ත්වයක්. මෙය ගැබිණි සමයට පෙර ඉතා නීරෝගීව සිටි කාන්තාවකට වුවත් වැළඳිය හැකියි. ගර්භණී දියවැඩියාව, එනම් Gestational diabetes වළක්වා ගැනීම නීරෝගී ගර්භ සමයකට වගේම නීරෝගි දරු උපතකටත් උදව් වෙනවා.
බොහෝ විට ගර්භණී සමයේදි සිදුවන හෝමෝන වෙනස්කම් නිසාවෙන් මේ ගර්භණී දියවැඩියාව තත්වය ඇතිවෙනවා. ප්‍රමාණවත් පරිදි ඉන්සියුලින් නිපදවා ගත නොහැකි වීම හෝ නිපදවා ඇති ඉන්සියුලින් භාවිතයට ගත නොහැකි වීම මෙයට හේතු වෙනවා.
කොහොමද හඳුනාගන්නේ ?
ගැබිනි සායනේදි සිදු කරන රුධිර පරීක්ෂාවකින්. එය 75g OGTT ලෙස හඳුන්වනවා. ගර්භණී දියවැඩියාව සඳහා වැඩි අවධානමක් සහිත මවුවරුන්ටයි මෙය සිදුකරන්නේ.
කොහොමද පාලනය කරන්නේ?
ගර්භණී දියවැඩියාව කියලා දැනගත්තොත් ආහාර පාලනය සිදු කළ යුතුයි. එයින් නිසි පාලනයක් නොවුණොත් ඉන්සියුලින් ගත යුතු වෙනවා. ආහාර පාලනය, ජීවන රටාව වෙනස් කිරීම සහ ඖෂධ මගින් මෙම තත්ත්වයන් පාලනය කළ හැකියි.
ගර්භණී දියවැඩියාව ඇති බවට අනතුරු ඇඟවීම්
- මුත්‍රාවල ඇති සීනි ප්‍රමාණය
- අස්වාභාවික පිපාසය
- නිතර නිතර මුත්‍ර පහවීම
- මහන්සිය
- පෙනීමේ සංකූලතා
- මෞත්‍ර ලිංගික මාර්ගය ආශ්‍රිතව ඇතිවන ආසාදන තත්ව
ගැබිනි සමයේදි ඉන්සියුලින් පාලනය නොකළොත්?
ගර්භණී දියවැඩියාව (Gestational diabetes) සහිත මවුවරුන් නිසි පරිදි රුධිර ගත සීනි මට්ටම නිතරම පවත්වාගත යුතුයි. ඔවුන්ට නීරෝගි දරු උපත් සිදුකළ හැකි වුවත් ඔවුන් දැඩි සුපරික්ෂාවට ලක් කරනවා. නමුත් බොහෝ අවස්ථාවලදි පහත සංකූලතා ඇතිවිය හැකියි.
- උපතේදි දරුවා විශාල වීම
- ගර්භාෂයේදි දරුවා මිය යාම
- ප්‍රසූත ගැටළු
මෙවන් කරුණු නිසා ප්‍රවේශම ඉතා වැදගත් වෙනවා.
ගැබිනි දියවැඩියාවෙන් පෙළෙන ඔබේ ආහාර රටාවට,
- අලුත් පළතුරු සහ එළවළු වැඩියෙන් එක්කරගන්න
- හිතකර මේදය , ධාන්‍ය , පිෂ්ඨය සහ ශාක ප්‍රෝටීන මධ්‍යම ප්‍රමාණයෙන් එක්කරගන්න
- සීනි සහිත සහ සීනි එක්කරන ලද ආහාර ඉතාමත් සුළු වශයෙන් ආහාරයට ගන්න.
ගැබිනි සමය අවසානයත් එක්කම දියවැඩියාවත් නිමාවෙයිද?
සමහර මවුවරුන්ට ප්‍රසූතියත් සමඟම ගර්භණී දියවැඩියාව (Gestational diabetes) තත්වය සුව වෙනවා. අවාසනාවකට සමහර මවුවරුන්ට ප්‍රසූතියත් සමඟ මෙම දියවැඩියා තත්වය සුව වන්නේ නැහැ. එය එවිට දෙවන වර්ගයේ දියවැඩියාව ( Type ii Diabetes mellitus) ලෙස හඳුන්වනවා.