ඔන්න එකමත් එක කාලෙක කුකුලු පැටියෙක් හිටියා.අපි එයාව අඳුනගන්න පහසු වෙන්න නමක් දාමු නේද?එයාගෙ නම ටුටූ.ටුටූ හිටියේ ෆොටෝ මාමාගෙ ගෙදර.ෆොටෝ මාමා හැමෝගෙම ෆොටෝ ගන්නවා.එයාට කියලා ෆොටෝ ගන්න උදේ ඉඳන් රෑ වෙනකම් සෙනඟ පිරෙනවා.
ටුටූ ඉපදුනෙත් මේ ගෙදර.ඒ නිසා ටුටූ පොඩිකාලෙ ඉඳලම ෆොටෝ මාමාගෙ ස්ටුඩියෝවට ආසයි.චික් චික් ගගා එයා ස්ටුඩියෝවෙ හැම තැනම ඇවිදිනවා.ෆොටෝ ගන්න අය දිහා බලනවා.ටුටූගෙ අම්මා කොච්චර එපා කිව්වත් ටුටූගෙ ගමන් බිමන් නම් නැවතුනේ නැහැ.
ෆොටෝ මාමා ගත්ත ලස්සන පින්තූර ගෙදර ඉස්සරහ ලොකුවට ගහලා තිබ්බා.ඒවා පාරට පේනවා.ලස්සන කුරුල්ලො,බලු පැටව්,පුස් පැටව්,ළමයි,මනමාලියො,මේ හැමෝම ඒ ෆොටෝවල ඉඳන් හිනා වෙවී පාර බලාගෙන හිටියා.එතනින් යන එන හැමෝම එයාලගෙ ලස්සන බලන්න නවතිනවත් ටුටූ නිතරම දැක්කා.
අනේ ඉතින් ටුටූටත් ආසයි ෆොටෝ එකක් ගන්න.ඒත් කාටවත්ම ඕන වුනේ නැහැ ටුටූගෙ ෆොටෝ එකක් ගන්න.ෆොටෝ ගන්න කොට ටුටූ හොරෙන් හොරෙන් කැමරාවට අහුවෙන්න යනවා.එතකොට කවුරු හරි කෑ ගහල කියනවා
”අන්න අන්න කුකුලු පැටියෙකුත් රිංගලා.එයාව ඉක්මනට අයින් කරන්න”කියලා.ඉතින් ටුටූව උස්සගෙන ගිහින් ආයෙමත් එතනට එන්න බැරි විදියට කොහේ හරි තියලා එයාල හිනා වෙවී ෆොටෝ ගන්නවා.ටුටූට හරිම දුකයි.එයා හිතුව එයා කැත නිසා ද ෆොටෝ වලට ගන්නෙ නැත්තෙ කියලා.ඒ නිසා එයා අම්ම දුන්න බත් ඔක්කොම කෑවා.මැල්ලුම් කෑවා.පළතුරු කෑවා.ටුටූ බෝලයක් වගේ වුණා.හම ලස්සන පාටක් වැටුණා.ඒත් කිසිම වෙනසක් නැහැ.කිසිම කෙනෙක් එයාව ෆොටෝ එකකට ගත්තෙ නැහැ.
ඔන්න දවසක් උදෙන්ම චූටි බබෙක්ව අරන් එයාගෙ අම්මයි තාත්තයි ආවා ෆොටෝ ගන්න.චූටි බබා ටුටූ වගේ ෆොටෝ වලට ඉන්න ආසා කෙනෙක් නෙවෙයි වගේ.ෆොටෝ මාමා ෆොටෝ ගන්න ආව ගමන් චූටි බබා අඬන්න පටන් ගත්තා.අයියෝ,මේක නම් හරිම අපරාදයක් නෙ කියලා ටුටූ හිතුවා.චූටි බබාව කොහොම හරි ෆොටෝ එකට තියන්න ක්‍රමයක් ටුටූ කල්පනා කළා.මෙච්චර හොඳ අවස්ථාවක් ලැබිලත් ෆොටෝ එකකට ඉන්න බබා අඬන්නෙ ඇයි කියලා ටුටූට කොහෙත්ම හිතා ගන්න බැහැ.මේකට විසදුමක් කල්පනා කල ටුටූට හොඳ අදහසක් ආවා.එයා හෙමින් සීරුවේ බබාගෙ ඉස්සරහට ගියා.
ලස්සනම ලස්සන,බෝලයක් වගේ කුකුළු පැටියෙක් එනව දැකපු බබා ඇඬිල්ල නැවැත්තුවා.හොඳට ඇස් ඇරලා බැලුවා.බබාගෙ අම්මා ඉක්මනින්ම බබාගෙ කඳුළු පිහලා මුහුන හැඩ වැඩ කළා.බබා ටුටූ දිහාට අත දික් කලා.එයාට ලඟට එන්න කිව්වා.ටුටූ බබාට පේන්න ලස්සනම ලස්සන නැටුමක් නැටුවා.බබා සතුටින් හිනාවුණා.අත්පුඩි ගගහා හිනාවුණා.ෆොටෝ මාමා ක්ලික් ක්ලික් සද්දෙන් ෆොටෝ ගොඩක් ගත්තා.හැමෝටම හරිම සතුටුයි.ටුටූටත් හරිම සතුටුයි.එයාට ෆොටෝ එකකට ඉන්න බැරිවුනාට ෆොටෝ එකක ඉන්න බබෙක් ට ලස්සනට හිනා වෙන්න එයා උදව් කලානෙ.ඒ මදෑ.
හවස ෆොටෝ මාමා ටුටූට රසම රස කෑම ගොඩක් ගෙනත් දුන්නා.ටුටූ අම්මටයි නෑයින්ටයි එයාගෙ හපන් කමත් කිව්වා.ඔන්න ඔහොම ඒ සිද්ධිය වෙලා සතියක් විතර යද්දි හැමෝටම ඒක අමතක වුණා.ටුටූටත් ඒක අමතක වුණා.
දවසක් ටුටූ ස්ටුඩියෝව පැත්තට යද්දි ලොකු ලොරියක පටවන් ආව පින්තූරයක් මාමල ගොඩක් එකතු වෙලා බිමට ගන්නවා දැක්කා.එයාල ඒක පාර අයිනෙ හිටෙව්වා.කලින් තිබ්බ පින්තූර ඔක්කොටම වඩා ඒක හරිම විශාලයි.පින්තූරෙ ඉන්නෙ කවුද බලන්න ආස හිතුණ ටුටූ පින්තූරෙ ඉස්සරහට ගියා.
ආනේ…..ටුටූට හයියෙන් කෑ ගැහුණා.වෙන කවුරුවත් නෙවේ ඒ ඉන්නෙ එයා.ටුටූ ලස්සනට නටන ෆොටෝවක්.පැත්තකින් චූටි බබාගේ හිනාව.ටුටූ ගමටම ඇහෙන්න කුක් කුක් කුක් කූ…..මම ෆොටෝ එකක ඉන්නවා කියලා හයියෙන් කෑ ගැහුවා.එයාගෙ යාළුවො,නෑයො ඔක්කොම වටවුණා.ටුටූගෙ ලස්සන හැමෝම කතාවුණා.
ඒ විතරක් නෙවෙයි,පාරෙ ගිය හැමෝම මොහොතක් නතර වෙලා ටුටූගෙ පින්තූරෙ බලන්නත් අමතක කලේ නැහැ.