කහ පාට ප්ලාස්ටික් බෝලෙ ගෙදර මුල්ලක තනිවෙලා හිටියා.දැන් එයා පරණයි.සීරිලා.තැලිලා.කැත වෙලා.ඒ නිසා කවුරුත් එයාට ආස නැහැ.බබාට අම්මා අලුත්ම අලුත් බෝලයක් ගෙනත් දීලා.බබා ඒ බෝලෙ එක්ක සෙල්ලම් කරනවා.කහ පාට බෝලේ කාටවත් මතක නැහැ.දූවිලි,මකුලු දැල් පිරුණු පුටුව යට එයා දුකෙන් බලාගෙන හිටියා.බබා අලුත් බෝලෙ එක්ක සතුටින් සෙල්ලම් කරන හැටි.
“බෝලෙ,බෝලෙ ඔයාට පාළුයි නේද?මට දුකයි ඔයා ගැන.ඒත් මට ඔයා එක්ක සෙල්ලම් කරන්න එන්න බැහැනෙ.මගේ අඬු හරිම සිහින්.ඒ නිසා බෝලෙට තැලෙයි”
එහෙම කීවේ පුටුවෙ අනික් මුල්ලෙ ලහි ලහියේ මකුලු දැලක් බඳිමින් හිටපු මකුලු හාමි.බෝලෙට තවත් දුක හිතුණා.එයා ට හොඳ අදහසක් ආවා.ඇයි මම මෙතනින් එලියට නොයන්නෙ.ඇයි මම යාළුවෙක් හොයා ගන්න උත්සාහ නොකරන්නෙ කියලා එයා හිතුවා.
“ස්තුතියි මකුලු යාලුවේ මම ගැන දුක් වෙනවට.ඔව්,ඔයාව තැලේවි මා එක්ක සෙල්ලම් කලොත්.මම යාලුවෙක්ව හොයා ගන්න යන්නම්.සමහරවිට මට හොඳ යාළුවෙක් හමුවේවි.”
“ඔව්,මාත් හිතනවා.අපි දේවල් සොයන්න ඕන.අපට සුදුසු තැනක නෙවේ නම් අපි ඉන්නෙ සුදුසු තැනක් හොයාගෙන යන්න ඕන.බලන්න මේ පුටුව යට මට මකුලු දැලක් බඳින්න හොඳම තැනක් කියලා මම දන්නෙ මම ඒක හෙව්ව නිසා.නැත්නම් පුරුදු විදියට සිවිලිමේම බැන්දනම් ඉක්මනින්ම මකුලු දැල් කඩන කොස්සට අහුවෙනවා.එහෙනම් සුබ පැතුම් යාලුවේ ඔයාට.”
මකුලු හාමි ආදරයෙන් සුබ පැතුවා.කහ බෝලය එයාට ආයෙමත් ස්තුති කරල ඔන්න ගමන පිටත්වුණා.මෙච්චර දවසක් දුකෙන් පුටුව යට හිටියෙ අපරාදෙ කියලා එයාට හිතුණා.
ඔන්න ඉතින් ගමන යන්න පිටත්වුණ කහ බෝලෙට මුලින්ම හම්බුනේ පූසාව.පූසා දැක්ක කහ බෝලේ එයා එක්ක කතා කළා.
“යාළුවේ,ඔයා කැමති ද මා එක්ක සෙල්ලම් කරන්න”බෝලෙ ඇහුවා.පූසා කම්මැලිකමින් ඈනුම් ඇරියා. “මම මේ පොඩ්ඩක් නිදා ගන්න හැදුවා විතරයි.ඒත් ඔයා හරිම පරණ,කුණු ගෑවුනු බෝලයක් නෙ.ඔයා එක්ක සෙල්ලම් කලොත් මගේ ඇඟෙත් කුණු ගෑවෙයි.”පූසා ඕනෑවට එපාවට කිව්වා.බෝලයට දුක හිතුණා.මුකුත්ම නොකියා බෝලය ආයෙමත් ගමන පටන් ගත්තා.ආයෙත් නම් සෙල්ලම් කරන්න කැමති ද කියලා කාගෙන්වත් අහන්නෙ නැහැ කියලා බෝලය හිතුවා.පරණ,කැත බෝලයක් එක්ක සෙල්ලම් කරන්න කවුරුවත් කැමති නැති වෙයි.එයා දුකින් හිතුවා.
ඉතින් බෝලය දිගටම ඇවිදගෙන ගියා.මග දිගට බොහෝ අය හමුවුණත් එයා ඒ කාගෙන්වත් සෙල්ලම් කරමුද කියලා ඇහුවේ නැහැ.ඒත් කොහෙද යන්නෙ කියලත් එයා දැනගෙන හිටියෙ නැහැ.ඔන්න ඔහොම ඇවිදගෙන යනකොට බෝලෙට මහන්සි හිතුණා.පොඩ්ඩක් විවේක ගන්නත් එක්ක එයා පාරේ අයිනේ නැවතුණා.පොඩි නින්දක් නිදාගත්තා.
එක පාරටම එයාට ඇහැරුණේ කවුදෝ එයාව තල්ලු කරමින් හිනාවෙන්න ගත්ත නිසා.ඒ කවුද කියලා බෝලෙ කුතුහලයෙන් බැලුවා.සුදු සැරයටියක් ගත්ත ළමයෙක් එයාගෙ තාත්තා එක්ක පාරෙ ඇවිදිමින් යද්දි තමා එයාගෙ සැරයටියට බෝලෙ අහුවුණේ.
“මේ බෝලයක් නේද තාත්තෙ,අයිතිකාරයෙක් නැත්නම් එයාව ගෙදර අරන් යමුද?ළමයා තාත්තාගෙන් ඇහුවා.තාත්තා බෝලය අහුල ගත්තා.ගමන් මල්ලට දමා ගත්තා.
බෝලය ළමයා සමග අලුත් නවාතැනට ගියා.ළමයා ගේ අම්මා මග බලාගෙන සිටියා.ළමයා අම්මාට බෝලය පෙන්නුවා.
“මම පාරෙන් අහුල ගත්තෙ.එයා ලස්සනයිද අම්මා?මට එයාගේ පාට කියන්නකෝ” ළමයා සතුටින් ඇහුවා.
“ඔව් පුතා.කහ පාට හරිම ලස්සන බෝලයක්.පුතාට සෙල්ලම් කරන්න පුලුවන් එයා එක්ක.ඉන්න්කො මම එයාව හොඳට හෝදලා දෙන්නම් මම”
බෝලයට පුදුමයි.එයාට කවුරුත් ලස්සනයි කියන්නෙ නැහැ.අම්මා ළමයාගේ හිත සතුටු කරන්න බොරුවක් කියූ බව බෝලය තේරුම් ගත්තා.ඒත් කමක් නැහැ.එයාලා මට ආදරෙයිනෙ.නැත්නම් මාව ගෙදර ගේන්නෙ නැහැනෙ.බෝලය හිතුවා.
අම්මා සබන් ගොඩක් දමා බෝලය නෑව්වා.බුරුසුවකින් හොඳට මැද්දා.ලේන්සුවකින් පිහ දැම්මා.බෝලයට හරිම සනීපයක් දැනුණා.නාන කාමරයේ කන්ණාඩියෙන් බෝලය එයාව බැලුවා.
“ආනේ,හරිම ලස්සනයි නෙ.අලුත්ම අලුත් පාටක් ඇවිත්”
අම්මා ළමයාට බෝලය දුන්නා.ළමයා යන යන තැන බෝලය එයා එක්ක ගියා.හැමදාම බෝලයෙන් එක එක සෙල්ලම් කලා.කිලිටි වුණාම අම්මා එයාගෙ කුණු යන්න නෑව්වා.ආයෙමත් කවදාවත් බෝලය දුකින් හිටියේ නැහැ.එයාට හොඳම හොඳ යාළුවෙක්ඉන්නවා.බෝලය එයාගෙ ලඟින්ම ඉන්නවා.
ලෝකෙ සතුටින්ම ඉන්න බෝලයක් ගැන කවුරු හරි ඔයාගෙන් ඇහුවොත් ඒ කහ පාට බෝලය බව ඔයාට මතක් වෙයි නේද?
කතාව – චම්මි නැන්දාගෙන්