“ඝන කළුවරට අපි පෙම් කළොත්
ඉර හඳ තරුවලට ණයගැතියි
ලොව දුන්නු දේවල් අද අපිට
හෙට ලොවට පෙරළා දිය යුතුයි
ඔබ මේ ලොවට ආදරෙයි නම්
මුළු ලොවම ඔබටත් ආදරෙයි.”
එසේ ලියූ ආදර තාත්තා “රත්න ශ්‍රී විජේසිංහ” මහතා බව ඔබ හොඳින්ම දන්නවා ඇති. දියණියක වෙනුවෙන් එවැනි සුන්දර පද පෙළක් ලියූ ඔහුගේ ආදර වැඩිමහල් දියණිය සම්මානි විජේසිංහ සාහිත්‍යවේදිනිය තමන්ගේ ආදර තාත්තා ගැන කියන්නේ මෙවැන්නක්.
පවුලේ වැඩිමහල් දියණිය ලෙස ඔබ තාත්තාට සමීප වූයේ කොහොමද?
අපේ අම්මා හැම දෙයකටම වගේ ආදරේ වැඩිකමට “එපා” කියනවා. ඒත් තාත්තා එහෙම නෑ. මම ඒ අම්මා එපා කියන හැම දෙයකම සහනය සහ අස්වැසිල්ල වෙනුවෙන් තාත්තා ගාවට යන්න පුරුදු වෙලා හිටියා. ඒ නිසාම තාත්තා මට වැඩියෙන් සමීප වෙන්න ගත්තා.
කොහොමද කුඩා දියණියකට තාත්තා අවවාද සහ රැකවරණය ලබා දුන්නේ?
තාත්තා මං කරන වැඩවල වගකීම මට ගන්න ඉඩ දුන්නා. අනතුර ගැන තේරුම් ගන්න ඉඩ දුන්නා. මං පොඩි කාලේ දැඩි ලෙස ඇදුම රෝගයෙන් පීඩා වින්ද දරුවෙක්. අම්මා කැමති නෑ මම අයිස් ක්‍රීම් එහෙම කනවට. ඒත් තාත්තා “ටිකක් කන්න” කියලා කියනවා. අන්න ඒ වගේ දේවල් ගැන මටම මං ගැන අවබෝධ කරගන්න ඔහු ඉඩ දුන්නා. ඒවා ඇත්තටම මනෝ විද්‍යාත්මක ක්‍රම කියලා දැන් මට හිතෙනවා.
ළාබාල දැරියක් කාලයේ ඔබට ඕනෑම දෙයක් තාත්තගෙන් අහන්න පුලුවන්කම තිබුණාද?
ඔව්! මට අපූරු උදාහරණයක් මතක් වෙනවා. අපි හිටපු පළාතේ විවිධ ජාතීන්ට අයත් උදවිය හිටියා. අපි හරි සහයෝගෙන් ජීවත් වුණා. මුස්ලිම් පිරිමි දරුවන්ට සුන්නත්කිරීමේ උත්සවයක් තියනකොට මට හරිම ප්‍රශ්නයක් දැනෙනවා ඒ උත්සවේ ගැන. මම ඒක අහන්න තෝරා ගත්තේ මට ළඟම කෙනා, තාත්තා. ඔහු මට ඒ ගැන දැරියකට ගැළපෙන මට්ටමට කියලා දුන්නා. මං ඔහුගෙන් ජීවිතේ ගැන මහා ලොකු ප්‍රශ්නත් ඒ කාලේ අහනවා. ඔයාට දැන්ම ඕවා තේරෙන්නේ නෑ. මං කියලා දෙන්නම් ඉස්සරහට කියලා එතකොට ඔහු මට විශ්වාසය ඇති කරනවා. කුතුහලය එක්ක වැඩෙන දැරියකට ඒ විශ්වාසය හරිම වටිනවා. මගේ තාත්තා හැම දෙයක්ම දන්නවා කියන විශ්වාසයත් මම ඒ එක්කම ඇති කරගත්තා. ඔහු සාහිත්‍යධරයෙක් ලෙස කතාබහ කරන දේවලින් මම උකහා ගත්තු දේ සෑහෙන තරම්. ඒවා නිසා මම තාත්තා ගැන හරි ගෞරවයක් ඇති කරගත්තා. රටටම අයිති තාත්තා ගැන මම ඇති කරගත්තු ආදරය සහ භක්තිය ඇත්තටම දවසින් දවස වැඩි වෙනවා. ඇත්තටම මට ඔහුගෙන් ලැබෙන රැකවරණයත් තවම එහෙමමයි.
තරුණියක් ලෙස ජීවිතය තුළ යම් යම් කඩා වැටීම් වලට ලක් වෙනකොට ඔහු ඔබ අසල හිටියේ කොහොමද?
ඇත්තටම තාත්තා නැත්නම් ඒ සිදුවුණු සමහර සිදුවීම් නිසා මම නැති වෙන්නත් තිබුණා. අද දක්වාම මට ඉන්නේ ඔහු. මගේ කඩාවැටීම්,බිඳ වැටීම්, මෝඩකම්, මුරණ්ඩුකම් නිසා තාත්තා අදටත් දුක් විඳිනවා. ඔහු දැන් වියපත්. මම ඔහුව බලා ගත යුතු කාලය ඇවිත්. නමුත් තවම ඔහු මාව බලා ගන්නවා. ඔහු උගත් බුද්ධිමත් තාත්තා කෙනෙක් ලෙස මට කඩා වැටෙන්නට නොදී මාව රැක බලා ගත්තා.
ඔබට සාහිත්‍යවේදිනියක් වෙන්නට තාත්තා ලබා දුන්නු පිටුවහල මොන වගේද?
ඔහු දක්ෂ සාහිත්‍යවේදියෙක් නිසා මට උප්පත්ති වාසනා ගුණයක් ද ලැබුණු බව ඇත්තක්. ඒවා ප්‍රගුණ වුණේ ඔහුගේ සාහිත්‍ය කටයුතු දෙස බලා හිඳීමෙන්. ඔහු මට නිදහසේ ලියන්න ඉඩ දුන්නා. හැබැයි සිංහල භාෂාව සම්බන්ධයෙන් වැරදි වෙනකොටනම් අප්‍රමාණව දොස් නගලා තියනවා. හොඳ නිර්මාණයක් බිහි වෙනතුරු ඒවා පිටතට දාන්න අවශ්‍ය නැති බව මට කියාදුන්නේ තාත්තා. මම ඔහුගෙන් ඉගෙන ගන්න ඕනෑ කියලා තාත්තා විශ්වාස කරෙත් නෑ. මට ළමා සාහිත්‍ය සම්බන්ධයෙන් සිබිල් වෙත්තසිංහ නැන්දා හරහා ඉගෙන ගෙන සාහිත්‍ය ලෝකයට ප්‍රවිෂ්ඨ වෙන්න ඔහු ඉඩ දුන්නා. නිතරම හොඳ දේවල් ලියන්න, හදාරන්න එහෙම නැත්නම් නොලියා ඉන්න කියලයි තාත්තා මට කියන්නේ.
ඔබ අම්මා කෙනෙක් වුණාම ඔබේ තාත්තා කොහොමද සීයා කෙනෙකුගේ භූමිකාවට අවතීර්ණ වුණේ?
ඇත්තටම මගේ පුතා ඉපදුණු දවසේ ඉඳන් මේ මොහොත දක්වාම ඔහුට මටත් වඩා ආදරේ කරන්නේ මගේ තාත්තා කියන එක පැහැදිලි ඇත්තක්.
රටක් ආදරය කරන තාත්තා කෙනෙකු ලැබීමේ සතුට සම්මානි විජේසිංහ මහත්මිය අපි එක්ක බෙදා ගත්තේ ඒ ආකාරයෙන්. “හැම මිහිරි දෙයක්ම ” ඇයට දුන් තාත්තාට අපිත් දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා.
නිබන්ධිකා