කාන්තාවක් දරුවෙකු පිළිසිඳ ගත් හාම ඇය ව කායිකව මෙන්ම මානසිකවත් බොහෝ වෙනස් කම්වලට බඳුන් වෙනවා. සමාජයෙනුත් ඇයට ලැබෙන්නේ විශේෂ සැළකිල්ලක්. එසේ වන්නේ ඇය ජිවිතයේ එක් සුවිශේෂී අවධියක් ගත කරන නිසයි. මේ කාලය තුළ දී ඇය තමාගේ සුපුරුදු ජීවන රටාවෙන් මිදී තම කුස තුළ වැඩෙන දරුවාට යෝග්‍ය ජීවන රටාවකට යොමු වෙනවා. මීට පෙර ඇය ආසාවෙන් රස විඳි ආහාරයක්, සතුට ගෙන දුන් විනෝදාංශයක් උවත් තම කුසේ වැඩෙන දරුවා වෙනුවෙන් කැප කරන්න ඇය පසුබට වෙන්නේ නෑ. මෙසේ දමාගන්නා ඇතැම් සීමාවන් නම් කිසිදු විද්‍යාත්මක පදනමකින් තොරව සමාජයේ මුල් බැස ගත් මිථ්‍යා මත නිසා ඇති උන දේවල්.
මේ නිසා ම ඔබ හෝ ඔබේ සමීපතමයෙක් දරුවෙකු පිළිසිඳ ගත් අයෙක් නම් ජීවන රටාවට කිසියම් සීමාවක් පැනවීමට පෙර එහි විද්‍යාත්මක පසුබිම සුළු වශයෙන් හෝ දැන සිටීම වැදගත්. එමගින් ගර්භණී සමය අනවශ්‍ය පීඩාවලින් තොරව සුන්දරවත් සැහැල්ලුවෙනුත් ගත කරන්න හැකි වේවි.
ගර්භණී කාන්තාවක් මේ විදිහට හිත කලබල කරගන්නා කාරණාවක් තමයි ගර්භණී කාලය තුළ ලිංගික ව එක් වීම සුදුසු ද නැද්ද කියන කාරණය.
සැබැවින්ම ගර්භණීභාවය කියන්නේ තමන්ගේ ලිංගික ජීවිතය ට තාවකාලිකව සීමා පැනවිය යුතු තත්වයක් නොවෙයි. කාන්තාවක් ගර්භණී කාලය තුළ දී ලිංගිකව එක් වීමකට පසුබට වීමට ප්‍රධාන හේතුව වන්නේ එම ක්‍රියාකාරකම් නිසා දරු ගැබට හානියක් සිදු වේ දැයි යන බියයි. වෛද්‍ය විද්‍යානුකූලව එහි කිසිදු සත්‍යතාවයක් නැහැ. දරුවා කුස තුළ සිටින්නේ තරලයක් පිරුණු මල්ලක් වැනි දෙයක. එම තරලයත් ඊට පිටතින් ඇති ශක්තිමත් ගර්භාශ බිත්තිත් දරුවා ව පිටතින් එන කම්පනවලින් ආරක්ෂා කරනවා. එම නිසා එවැනි අනිසි බියක් ඇති කරගතයුතු නැහැ.
ගර්භණී කාලය තුළ සිදුවන හෝමෝන වෙනස්වීම් නිසා ලිංගික හැසිරීමකට කෙනෙකුගේ ඇති කැමැත්ත විවිධාකාර විය හැකියි. එය sex drive හෝ libido ලෙස හඳුන්වනවා. පොදුවේ ගත් කළ මෙය පළමු ත්‍රෛමාසිකය තුළ අඩු මට්ටමක තිබී දෙවන ත්‍රෛමාසිකය වන විට ඉහළ මට්ටමකට පැමිණෙනවා. නමුත් අයෙකුගේ sex drive එක මීට හාත්පසින්ම විරුද්ධ ආකාරයක පවතින්නත් පුළුවන්. එය සම්පූර්ණයෙන් ම සාමාන්‍ය තත්ත්වයක්.
ගර්භණී කාලය තුළ දී ලිංගික එක්වීමකට සුදුසු ඉරියව් පිළිබඳවත් තියෙන්නේ විවිධාකාර මත. නමුත් වෛද්‍ය විද්‍යානුකූලව ගැලපෙන හෝ නොගැලපෙන ඉරියව් නොමැති අතර තමන්ට පහසු ඕනෑම ඉරියව්වක් මේ සඳහා යොදා ගත හැකියි.
මේ කාලය තුළ ලිංගිකත්වය ට ඉඩක් වෙන් කිරීම ගර්භණී කාන්තාවගේ මෙන්ම ඇයගේ සහකරුවාගේ ත් මානසික සෞඛ්‍යයට යහපත් බලපෑමක් ඇති කරනවා. එමගින් දෙදෙනා අතර අන්‍යොන්‍ය සබඳතාවය තවත් ශක්තිමත් වන අතර එය අනාගතයේදී නව දෙමාපියන් ලෙස අභියෝග වලට සාර්ථක ව මුහුණ දීමට හොඳ අඩිතාලමක් සපයනවා. ගර්භණී මවගේ යහපත් මානසික තත්වය කුස තුළ වැඩෙන දරුවා ට ද ගෙනෙන්නේ ධනාත්මක බලපෑමක්.
කෙසේ නමුත් ගර්භණී කාලය තුළ දී ඔබ පහත තත්වයන් ට මුහුණ දුන්හොත් කායික ව එක් වීමේදී යම් සීමාවන්ට යටත් වීමට සිදුවෙනවා.
යෝනිමාර්ගයෙන් රුධිර වහනය වීම (unexplained vaginal bleeding)
ගබ්සා වීමකට අවදානමක් ඇතැයි නිර්ණය වී තිබීම (risk of miscarriage)
ගැබ් ගෙලෙහි දුර්වලතා (cervical incompetence)
කළල බන්ධය හෙවත් වැදෑමහ ගැබ් ගෙල හරහා පිහිටා තිබීම (placenta previa)
නිසි කලට පෙර දරු උපත සිදුවීමට අවදානමක් ඇතැයි නිර්ණය වී තිබීම (risk of preterm delivery)
ඇම්නියොටික් තරලය කාන්දු වීම (rupture of membrane)
මෙම තත්වයන් ඔබට ඇතැයි ඔබගේ වෛද්‍යවරයා නිර්ණය කළහොත් ලිංගික එක්වීමක සුදුසු නුසුදුසු බව පිළිබඳ ව ඔහු/ඇය ගෙන් අවශ්‍ය උපදෙස් ඔබට ලැබේවි.
ඉහත අවස්ථාවදී ලිංගික ව එක් වීමේදී දරු ගැබට විශ බීජ ඇතුළු වීම, අධිකව රුධිරය වහනය වීම, නිසි කලට පෙර දරු ප්‍රසූතියක් ඇතිවීම උත්තේජනය වීම වැනි බරපතල තත්වයන් ඇතිවීමේ අවදානමක් පවතින නිසායි එවැනි සීමාවන් පැනවෙන්නේ.
කෙසේවෙතත් ආදරය සහ ලිංගිකත්වය විඳින්නට කායික සබඳතාවක් පැවැත්වීම ම අවැසි නැති බව ත් මතකයේ තබා ගන්න.
වෛද්‍ය තත්සරණී විජයරත්න
කථිකාචාර්‍ය – කැලණිය විශ්ව විද්‍යාලය