ගර්භණී කාලය කියන්නෙ තරමක් අපහසු, ආතතියක් සහිත කාල පරිච්ඡේදයක්. නමුත් දරුවා ඉපදෙන එක ගැන හිතෙනකොට පුදුම සතුටක් දැනෙන කාලයක්. මේ ආතති තත්වයෙන් මිදෙන්න ඔබට කරන්න පුලුවන් වැදගත්ම දෙයක් තමයි ගර්භණී කාලය, ඒ කාලයේ ඇතිවෙන්න පුලුවන් සංකූලතා පිලිබඳව දැනුවත් වෙන එක. ඉතින් අද ලිපියෙන් අපි කතා කරන්න යන්නෙ ගර්භණී කාලයේ මුල් මාස 3දී මවට ඇතිවිය හැකි සංකූලතා ගැනයි.
මුල් මාස 3 කියන්නෙ සති 1ත් 12ත් අතර කාලයට. මේ කාලයේදී ඔබේ ශරීරය වෙනස්කම් රාශියකට භාජනය වෙනවා. හෝමෝන වෙනස්කම් නිසා ඔබට ඇතිවෙන අපහසුතාත් වැඩියි. ඒ අතරින් ප්‍රධානම වෙන්නෙ තෙහෙට්ටු ගතිය, පියයුරු ඉදිමීම සහ වේදනාව, උදරයේ වේදනාව, ඔක්කාරය, වමනය, හිසරදය, මළබද්ධය, බර වැඩිවීම/අඩුවීම සහ වැඩි වාර ගණනක් මුත්‍රා පිටවීම. මේ අපහසුතා සාමාන්‍යයෙන් ගර්භණී කාලයේ පළමු මාස 3 ඉවර වෙනකොට ඉබේම අඩුවෙලා යනවා. දිගටම තියෙනවා නම් හෝ ඉතාම දරුණු ලෙස මේ අපහසුතා තියෙනවා නම් වෛද්‍ය ප්‍රතිකාර ගන්න ඕනෙ.
ඒ වගේම ගබ්සාවීමක් වෙන්න වැඩිම අවදානමක් තියෙන්නෙත් ගර්භණී කාලයේ මුල් මාස 3දී තමයි.
දැන් අපි බලමු මේ සංකූලතා වලින් වැලකෙන්න ඔබට කරන්න පුලුවන් දේවල් මොනවාද කියලා. පලවෙනි වැදගත්ම කාරණය තමයි ඔබ සමබල ආහාර වේලක් ගන්න ඕනෙ. ඒ ආහාර වේලෙ ප්‍රමාණවත් තරම් ෆෝලික් අම්ලය අඩංගු වෙන්නත් ඕනෙ. එයින් දරුවගෙ ස්නායු පද්ධතියේ වර්ධනය සම්බන්ධ සංකූලතා අවම කරගන්න පුලුවන්.
මේ කාලයේ ගබ්සාවීමක් වෙන්න තියෙන අවදානම වැඩියි කියලා මම කලින් කිව්වනෙ. ඒ අවදානම අවම කරගන්න ඔබට යම් යම් දේවල් කරන්න පුලුවන්. සමබල ආහාර වේලක් ගැනීම, අවශ්‍ය විටමින් නියමිත විදියට ගැනීම සහ මත්පැන්, මත්ද්‍රව්‍ය සහ දුම්පානයෙන් සම්පූර්ණයෙන්ම වැලකීම සහ වෛද්‍ය උපදෙස් වලින් තොරව ඖෂධ ගැනීමෙන් වැලකීම ගබ්සාවීම් අවම කරගන්න උපකාරී වෙනවා. යෝනි මාර්ගයෙන් රුධිරය වහනය වීම ගර්භණී සමයේ මුල් කාලයේදී ඉතාම සුලබයි. වැදගත් වෙන්නෙ රුධිර වහනයට හේතුව හොයගන්න එක. ඒ නිසා සුළු රුධිර වහනයක්, උදරයේ වේදනාව පමණක් වගේ ලක්ෂණ තියෙනවා වුණත් වෛද්‍යවරයෙක් හමුවෙලා දරුවා හොඳින්ද කියලා සැකහැර දැනගන්න.
ගර්භණී කාලයේ වමනය සහ ආහාර අරුචියත් ඉතාම සුලබයි. නමුත් මේ තත්වය Hyperemesis Gravidarum කියන රෝග තත්වය දක්වා වර්ධනය වෙන්න පුලුවන්. අපි මේ ගැන කලින් ලිපියක් විස්තරාත්මකව කතා කරා ඔබට මතක ඇති. ඔබට කිසිම කෑමක්/බීමක් ගන්න බැරි තරමට වමනය හා ආහාර අරුචිය තියෙනවානම් ඉක්මනින්ම වෛද්‍ය උපදෙස් ලබාගන්නම ඕනෙ. මොකද ඒක ඔබටත් දරුවාටත් දෙන්නටම අවදානම් තත්වයක්.
කලාතුරකින් සිදුවෙන නමුත් මවට ඉතා අවදානම් තත්වයක් තමයි ගර්භාෂයෙන් පිටත දරු පිළිසිඳ ගැනීමක් සිදුවීම. ගොඩක් වෙලාවට කළලය පිහිටන්නෙ පැලෝපීය නාලය තුළ. මේ තත්වය හඳුන්වන්නෙ Ectopic Pregnancy කියලා. කලින් ස්කෑන් පරීක්ෂණයක් නොකළ මවකට උදරයේ වේදනාව, ක්ලාන්තය, යෝනි මාර්ගයෙන් රුධිරය වහනය වීම, වමනය, උණ වගේ ලක්ෂණ තියෙනවානම් හැකි ඉක්මනින් ලඟම තියෙන රෝහලට ඇයව රැගෙන යන්න ඕනෙ. කළලය වර්ධනය වෙනවත් එක්ක පැලෝපීය නාලය පිපිරිලා උදරය තුලට රුධිරය වහනය වෙනවා. ඉක්මනින් ප්‍රතිකාර නොකලොත් මවගේ ජීවිතයට පවා හානිවෙන්න පුලුවන්.
තවත් කලාතුරකින් ඇතිවෙන සංකූලතාවක් තමයි Molar Pregnancy කියල කියන්නෙ. මේ තත්වයේදි වෙන්නෙ කළල බන්ධයේ සෛල විකෘතියක් නිසා කළලය සාමාන්‍ය දරු ගැබක් විදියට වර්ධනය නොවීම. කළලය ඇතිවෙන්න සංසේචනය වුණ ඩිම්භය/ශුක්‍රාණුව හෝ මේ දෙකේම ජාන විකෘති නිසා තමයි Molar Pregnancy එකක් ඇතිවෙන්නෙ. අවුරුදු 40ට පස්සෙ ගර්භණී වෙන මවකට අනිත් මව්වරුන්ට වඩා Molar Pregnancy එකක් හටගන්න යම් අවදානමක් තියෙනවා. ඒ වගේම ආසියානු, අප්‍රිකානු මව්වරුන්ටත්, කලින් molar pregnancy එකක් තිබ්බ කෙනෙක්ටත් නැවත ඇතිවීමේ අවදානම වැඩියි. Molar Pregnancy එකක් තහවුරු කරගන්න ස්කෑන් පරීක්ෂණයක් අවශ්‍යමයි. ඒ නිසා ඔබ ගර්භණී කියලා දැනගත්ත මොහොතෙම ස්කෑන් පරීක්ෂණයක් කරගන්න එක කෝකටත් හොඳයි.
ReplyForwardAdd reaction |