“මේ ලෝකෙ ඉන්නෙ අපි විතරයි නේද?වලස්සු විතරයි නේද?මම කැමතිම වලස්සුන්ට.”
පුංචි බෙනී එයාගෙ අම්මටයි,තාත්තටයි කිව්වා.
බෙනී කියන්නෙ පුංචිම පුංචි වලස් පැටියෙක්.එයා අද මුලින්ම ඉස්කෝලෙ යන දවස.බෙනී දන්නෙ එයාගෙ ගෙදර අයවයි,නෑදෑයින්වයි විතරයි.මොකද එයා තාම හරිම පොඩියිනෙ.අද තමා ඉතින් ඉගෙන ගන්න පටන් ගන්න යන්නෙ.ඒ නිසා ඉතින් එයා හිතන් ඉන්නෙ ලෝකෙ පිරිලා තියෙන්නෙ වලස්සුන්ගෙන්ම විතරයි කියලා.
අම්මයි තාත්තයි නම් මුකුත්ම කිව්වෙ නැහැ.දැනටමත් ටිකක් පරක්කුයි.එයාල ඉක්මනින්ම බෙනීව ඉස්කෝලෙ ගෙනියන්න සූදානම් කළා.බෙනීගෙ නම් කිසිම කැමැත්තක් නැහැ ඉස්කෝලෙ යන්න.
අම්මා,එයා ආසම රසම කෑම වලින් එයාගෙ කෑම පෙට්ටිය පුරවන්න අම්මා කලේ නැහැ.ඒ මොනවද දන්නවද?මී පැණි වල පොඟවපු රසම රස පළතුරු.ඒ විතරක් නෙවෙයි.එයාගෙ ගෙවල් වලින් ටිකක් දුරකට බෙනී මේ යන පළවෙනි වතාව.ඉතින් එයා පොඩ්ඩක් බය වෙලා හිටියෙ.ඒත් බෙනී දන්නවා එයාගෙ අයියල අක්කල වගේම එයාටත් ඉගෙන ගන්න ඉස්කෝලෙ යන්න වෙනවා කියලා.
තාත්තා බෙනී එක්ක පිටත් වුණා.අම්මා ආදරයෙන් සුබ පැතුවා.ඒත් බෙනී නම් යන්න ටිකක් අදි මදි කළා.කකුල් රිදෙනවා කිව්වා.තව එක එක හේතු ගොඩක් කිව්වා.ඒ නිසා තාත්තා සැරින් සැරේ එයාව කරේ තියාගෙනත් ගියා.මොකද ඉස්කෝලෙට ටිකක් දුරයි. තවත් පරක්කු වුණොත් බෙනීට වාඩිවෙන්න පුටුවක් නැති වේවි.තාත්තා කිව්වා.එහෙම වුණොත් හොඳයි කියලා බෙනී තනියම හිතුවා.එතකොට එයාට ආපහු තාත්තා එක්ක ගෙදර යන්න පුළුවන්නෙ.
ඒත් ඒක එහෙම වුණේ නම් නැහැ. පංතියේ මැද හිස් අසුනක් තියෙනවා බෙනීගෙ තාත්තා දැක්කා.බෙනී එද්දි අනෙක් යාලුවෝ ඔක්කොම පන්තියේ වාඩි වෙලා අහවරයි.තාත්තා ඉක්මනින්ම බෙනීට සමුදීලා නොපෙනී ගියා.බෙනී හෙමින් හෙමින් ගිහින් හිස් වෙලා තිබුණ එකම එක පුටුවේ වාඩිවුණා.
බෙනීගෙ ලගම වාඩි වෙලා හිටියේ දිග කන් දෙකක් තියෙන අමුතු පෙනුමක් තියෙන කෙනෙක්.එයාගෙ නම රැබී.එයා හාවෙක් කියලයි රැබී කිව්වෙ.එයාට හයියෙන් දුවන්න පුළුවන්ලු.ඒ විතරක් නෙවේ බෙනී කවදාවත්ම දැකලා නැති අමුතුම අමුතු අයගෙන් මුලු පන්තියම පිරිලා ඉතිරිලා තිබ්බා.
බෙනීගෙ එහා පැත්තෙ හිටියෙ එලී.එයාට හරිම ලොකු කන් දෙකක් තිබ්බා.දිගම දිගම නහයක් තිබ්බා.එයාව හඳුන්වලා දෙමින් තමන් අලියෙක් කියලා එයා හරිම ආඩම්බරෙන් තමා කිව්වෙ.කැලේ ඉන්න ලොකුම සත්තු එයාලලු.ඒක කිව්ව ආඩම්බර විදියට නම් බෙනීට ආසා හිතුනේ නැතැත් එයා නිතරම කන් දෙක සොලවන නිසා බෙනීටත් නිතරම හුලන් වැදුනා.එතකොට නම් හරිම සනීපයි.දෙපැත්තෙ ඉන්න දෙන්නගෙ දිග කන් සහ ලොකු කන් දිහා නිතරම හොරෙන් බලමින් තමා බෙනී හිටියෙ.එයාගෙ කන් දෙක එච්චර පුංචි වුනේ ඇයි කියලත් එයා කල්පනා කළා.
ඉක්මනින්ම ගුරුතුමිය පන්තියේ ඉන්න අලුත් යාළුවො ඔක්කොම එකිනෙකාට හඳුන්වා දුන්නා.එයාලගෙ ශරීර වල වෙනස්කම්,විවිධ හැකියාවන්,පුරුදු මේ හැම දෙයක් ගැනම පැහැදිලිව කියා දෙන්න ගුරුතුමිය උදේ වරුවම ගතකළා.ඒ නිසා මේ අලුත් යාළුවන්ට එකිනෙකා ගැන තිබුණ ප්රශ්න බොහොමයක්ම උදේ වරුවෙම විසඳුණා.
විවේක කාලයෙදි රැබී කැරට් කියලා දෙයක් කෑවා.එලී මුරුන්ගා පොතු.දෙන්නාගෙන්ම කැරට් කෑල්ලක් සහ මුරුංගා පොත්තක් බෙනීටත් ලැබුණා.බෙනීත් එයාගෙ රස පළතුරු වලින් කොටසක් යාළුවො දෙන්නට දුන්නා.මුරුංගා සහ කැරට් පැණි වල තවරන් කද්දි ඒවා හැමදාම කන කෑම වලට වඩා රසයි කියලා බෙනීට හිතුණා.
කෑම කාලා හැමෝම සෙල්ලම් කරන්න එලියට ගියා.උසම උස ජිරාෆ්,ලොකුම ලොකු අලි පුංචා,වේගෙන් දුවන මුව පොව්වා,කූරු විදින ඉත්තෑ පැංචා,ටිං ටිං ටිං ලේන් පැටියා,පුල්ලි වැටුණ කොටි පැටියා,බිම දිගේ ඇදෙන සර්ප යාළුවෝ.අහසේ පියාඹන කුරුළු යාලුවෝ මේ කවුරුත් සෙල්ලමට එකතුවුණා.බෙනීට හරිම පුදුමයි.කැලේ මෙච්චර ජාතිවල සත්තු ඉන්නවද?එයා කල්පනා කළා.
හැමෝම එක එක ජාතියේ සෙල්ලම් කළා.බෙනී දන්න සෙල්ලම් බෙනී කියලා දුන්නා.ඊටත් වඩා වෙනස් සෙල්ලම් ගොඩක් අනික් යාලුවොත් කියලා දුන්නා.ගුරුතුමිය අලුත් යාලුවන්ට බාධා නොකර පැත්තකට වෙලා බලාගෙන හිටියා.සෙල්ලම් කරලා කොච්චර දෙවල් ඉගෙන ගන්න පුලුවන්ද කියලා ගුරුතුමී දැනගෙන හිටියා.හැමෝම සමගියෙන් සෙල්ලම් කළා.එකිනෙකා අතර වෙනස්කම්,හැකියාවන් ගැන ගුරුතුමී කලින්ම උගන්වපු නිසා කිසි කෙනෙක් අතර ප්රශ්න ඇතිවුණේ නැහැ.උස,මිටි,ලොකු,පොඩි,එක එක පාටවල්,එක එක හඬවල් වලට හැමෝම පුරුදුවුණා.
හවස පංතිය ඉවරවුණා.බෙනීගේ තාත්තා පංතියේ දොරකඩ පෙනී හිටියා.උදේ ඉස්කෝලෙ ආව බෙනීව නෙවේ තාත්තා දැක්කේ.හිනා වෙවී හරිම සතුටින් ඉන්න බෙනී කෙනෙක්.ගුරුතුමියගෙන් වගේම යාළුවො ඔක්කොගෙන්ම සමුගත් බෙනී සතුටින් තාත්තාගේ අතේ එල්ලුණා.තාත්තා බෙනීගේ හිනාවෙන ඇස් දිහා බලලා හෙට නම් බෙනී උදෙන්ම ඉස්කෝලෙ එන බව තේරුම් අරගත්තා.මග දිගටම තාත්තාගේ කන් දෙක බෙනීගේ කතා වලින් පිරුණා.
“ඉතින් බෙනී,ඔයාට තාමත් හිතෙනවද ලෝකෙ වලස්සුන්ගෙන් විතරක් පිරුණු එකක් වුණා නම් හොඳයි කියලා”තාත්තා සිනහවෙමින් ඇහුවා.
“ලෝකෙ හරිම ලස්සනයි නේද තාත්තෙ?වලස්සු විතරක් හිටිය නම් අපරාදෙ.එක එක ජාතියෙ අය ගොඩක් එකතු වුණාම තමා කම්මැලි නැත්තෙ.” බෙනීත් හිනා වෙවී සතුටින් කිව්වා.උදේ ඉස්කෝලෙ එන්න අදිමදි කරපු එක ගැන එයාට ටිකක් ලැජ්ජත් හිතුණා.
තාත්තා ආදරෙන් බෙනීව වඩාගෙන කර උඩ තියා ගත්තා.බෙනීගේ කටට වගේම තාත්තාගේ කන් දෙකට නම් ගෙදර යනකම්ම කිසිම විවේකයක් තිබුණේ නැහැ.ඇයි ඉතින් ඉස්කෝලෙ දැකපු දේවල්,කරපු දේවල්,අලුතින් ඉගෙන ගත්ත දේවල් කොච්චරක් නම් තියෙනවද?
කතාව චම්මි ඉරේෂා කරපුටුගල නැන්දාගෙන්…