ලෝචනා ත්‍රීරෝද රථ රියදුරාගේ වේගය දරා ගත්තේ අපහසුවෙන්. ඔහු ටිකක් කලබලකාරී. ඒත් ලෝචනාට බයයි. මෙහෙම අස්ප කුලප්පුව හැදිලා වාහන යන්න පුලුවන්ද?
“ත්‍රීවිල් වල ගියේ මොකටද? මං කිව්වේ වාහනයක යන්න කියලනෙ.”
මේ කතාව කියන්න ගියොත් ජාලිය කියන්නේ එච්චරයි! ඒ හින්දා ලෝචනා රියදුරාට කතා කරන්න තීරණය කළා.
“අනේ ටිකක් හෙමින් යං.”
හෙමින් යන්න කාරණාව මතු වුණේ ඊටත් පස්සේ.
“මං ප්‍රෙග්නන්ට්.”
රියදුරාගේ වේගය වහාම අඩාල වුණා. තරුණ රියදුරාගේ මුහුණ මත හිනාවක් ඇඳෙන හැටි ලෝචනා දැක්කේ ඒ මොහොතෙදි.
“මගෙ නෝනාටත් බබෙක් ලැබෙන්න මිස්. අපි හෙමින් යං.”
සැහැල්ලු ලිනන් ගවුම් ඇඳීම තරුණියන්ගේ විලාසිතාවක් නිසා ඔහුට තමන්ගේ තත්ත්වය අවබෝධ කරගන්න නොහැකි වෙන්න ඇති. ඒත් සත්‍යය දැනගත්තු ගමන් ඕනෑවටත් වඩා හෙමින් යන ඔහුට බිරිඳව මතක් වෙන්න ඇති කියලා ලෝචනා හිතුවා.
“ඩොක්ටව මුණ ගැහෙන්න වුණත් තනියම එන්න එපා නෝනා. කාවහරි එක්කන් එන්න. ඔය කාලෙට පරිස්සම් වෙන එක හොඳයිනෙ.”
ලෝචනා මුදල් දෙනකොට තරුණ රියදුරා උපදෙසක් ලබා දුන්නා. තනියම යන්න අමාරු නැති බවත් ඔය වගේ දේවල් තනියම කරගන්න නොහැකි වීම ලැජ්ජාවක් කියලත් ජාලිය කියන හැටි ලෝචනාට මතක් වුණා.
“අපේ අම්මල ඒ කාලෙ අලි ගහන ඉස්කෝලවල තනියම වැඩ කරල තියෙන්නෙ. ඔයාට මේ කොළඹ ඉඳගෙන වාහනයක් දාගෙන හොස්පිටල් එකට යන්න බැරි කමක් නෑනේ. පහසුකම් වැඩි වෙනකොට ඔයාලටත් හුරතලේ වැඩි වෙනවා”
අඩුම තරමේ ජාලිය ඒ වගේ කතා නොකියා ඉන්නවනම් හොඳයි කියලා ලෝචනා හිතනවා. වැඩියෙන්ම අවධානයත් ආදරයත් උවමනා කාලයේ මේ වගේ කතා වලට වැඩිපුර හිත රිදෙනවා කියලා ජාලියට කියන්න කෙනෙක් ඉන්නවානම්!
ප්‍රසව හා නාරිවේද වෛද්‍යවරයා වෙතට ගර්භනී මව්වරුන් පැමිණෙන්නේ තමන්ගේ සැමියත් එක්ක. සැමියාට දෙන්න අප්‍රමාණ උපදෙස් වෛද්‍යවරයා ලඟ තියෙනවා.
“හස්බන්ට කියන්න තියෙන දේවලුත් ඔයාටම කියන්නේ තමයි මට හැමදාම සිද්ධ වෙන්නේ.”
වෛද්‍යවරයා හිනාවකින් කියනවා.ලෝචනා අඬන්න බැරිකමට හිනා වෙනවා.
“ඩොක්ට කුමාරසිංහ කියන්නේ දැනට ලංකාවේ ඉන්න හොඳම වීඕජී කෙනෙක්. සල්ලි වියදම් කරලා එයාව චැනල් කරන එකේ එතනට ගිහින් මටත් හැමදාම අහන් ඉන්න දේවල් නෑනේ. වැදගත්ම වෙලාවට මම එනවනේ.”
දරු ප්‍රසූතිය වෙනුවෙන් පෞද්ගලික රෝහලක තියෙන මිල අධිකම පැකේජ පරික්ෂා කරල බලන අතරතුර ජාලිය එහෙම කියපු හැටි ලෝචනා සිහිපත් කළා. ඔහු සෑම විටකම හොඳම දේ කියලා තෝරන්නෙ මිල අධිකම දේ. නරකකුත් නෑ. ටිකක් වටින දේවල් මිල අධික බව ලෝචනා දන්නවා. නමුත් සුවපහසුවෙන් ඉතාම ඉහළ පෞද්ගලික රෝහලක හොඳම පැකේජයක් ලබා ගත්තු ජාලියට දරු ප්‍රසූතිය වෙලාවෙදි ශල්‍යාගාරයේ රැඳෙන්නත් වෙලාව තියෙයිද කියලා ලෝචනා කල්පනා කළා.
“අපේ අම්මලාට අපිව හම්බ උනේ ගවර්මන්ට් හොස්පිටල් වලනෙ. එහෙම වෙලත් එයාලා තනියම හැමදේම කරගත්තා. දැන් ඉතින් ඩිලිවරි එක ස්ටාර් හොටෙල් එකක ඉන්නවා වගේ කරගන්න පුලුවන්නෙ.”
ජාලිය කියනවා. එහෙම කියලා නිර්ලෝභීව වියදම් කරනවා. ඒත් රජයේ රෝහලකට වුණත් පෞද්ගලික රෝහලකට වුණත් ප්‍රසූතිය වෙනුවෙන් යන අම්මා කෙනෙකුට වඩාත්ම වැදගත් දේ තමන්ගේ සැමියාගේ ආදරය සහ අවධානය කියලා කියලා කෑගහලා කියන තරමට ආවේගයක් ලෝචනාට දැනෙනවා.
“හැම මාසෙම scan කරන්න තිබ්බ නම් හොඳයි නේද?”
ලෝචනාගෙ වයසෙම වගේ ඉන්න තරුණ ගැබිණි මවක් තමන්ගේ සැමියාට එහෙම කියන හැටි ලෝචනා අහගෙන හිටියා. ඇගේ හිස ඔහුගේ උරහිස මත නැවතෙන හැටි ලෝචනා බලාගෙන හිටියේ ඉරිසියාවෙන්. ඔහු සීරුවට බිරිඳගේ හිස පිරිමදිනවා.
“එහෙම කරගන්න බැරි එකට මටත් තියෙන්නෙ දුකක්. හැම මාසෙම ස්කෑන් එක නොකළට කමක් නෑ කියලා ඩොක්ටර් කියනවා නේ.”
එහෙම කියනකොට ආයේම අර මවගේ මුහුණේ හිනාවක් ඇඳෙන හැටි ලෝචනා බලාගෙන හිටියා.
“කමක් නෑ. ඔයා සල්ලි ඉතුරු කරන නිසා අපිට ඩිලිවරි එක මෙහෙදි කරන්න පුලුවන්. මගෙ අත අල්ලන් ඔයා ඉන්නවනෙ.”
ඇස් දෙකට උනපු කඳුළු වෛද්‍ය වාර්තා සහිත ෆයිල් කවරයට වැටෙන හැටි ලෝචනා බලාගෙන හිටියා. නන්නාඳුනන තරුණ ගැහැණිය නිවැරදියි.මේ කාලයට වැදගත් වෙන එකම එක දෙයයි තියෙන්නේ.
“දරුවාගේ තාත්තා තමන්ගේ අතින් මල් ලබන තමන්ව දරාගෙන ඉන්න එක තරම් ප්‍රෙග්නන්ට් අම්මා කෙනෙකුට මේ කාලෙදි කිසිම දෙයක් වැදගත් නෑ. ආදරේ කරන කාලෙට, මැරි කරපු අලුත මේ කිසිම කාලෙකට වඩා ආදරේ ලැබෙන්න ඕනෑ මේ කාලේ.”
ගෙදර යන්න ටැක්සියක් කැඳවා ගැනීම පසෙකින් තියපු ලෝචනා වට්ස් ඇප් පණිවිඩයක් ලියන්න පටන් ගත්තා.
“ජාලිය, අපේ බබාට බ්‍රෑන්ඩඩ් හැම දෙයක්ම එකතු වෙමින් තියනවා. මම කන්න ආස හැමදෙයක්ම ඔයා ඕඩර් කරනවා. හැම මාසෙකම අත්‍යවශ්‍ය නැති ස්කෑන් පවා කරන්න ඔයා මට සල්ලි දෙනවා. ඕනෑවටත් වඩා දේවල් ලැබෙනවා කියලා හිතුවට මට ඕනෙම කරන දේ ඔයාගෙන් නොලැබෙන බව ඔයා දන්නවද? ආස කරන කෑමක් මට කවන්න, මගේ ඉදිමුණු කකුල් ටිකක් මසාජ් කරන්න, ඒ අමාරුකම් ගැන අහන්න, අතින් අල්ලාගෙන ඩොක්ටර් ලඟට එක්කගෙන ඇවිල්ලා මාව පරිස්සම් කරන විදිය ගැන ඩොක්ටර්ගෙන් අහ ගන්න වෙලාව හොයා ගන්න. මේ අපේ පලවෙනි දරුව ජාලිය. අපේ අම්මල ගොඩක් දේවල් තනියම කරගන්න ඇති තමයි. සල්ලිවලට වඩා මට මේ වෙලාවේ වටින්නේ ආදරේ.අනේ කරුණාකරලා මේ කාලෙදි මාත් එක්ක මගේ ලඟින් ඉන්න.මට ආදරේ දෙන්න.”
පණිවිඩය ජාලිය මොන වෙලාවක කියවයි ද කියන එක ගැන ලෝචනාට අදහසක් නෑ. නමුත් මේ කතාව ගැබිණියක මඟ හැරෙන හැම සැමියෙකුටම දෙන්න පුලුවන් නම් කියලා ලෝචනාට හිතුණා.
ආදරේ අවශ්‍යම වෙලාවේ ආදරේ ඇරෙන්න මොනවා ලැබුණත් මොකටද?
නිබන්ධිකා වන්නිනායක