පුංචි කොණ්ඩ කුරුළු පැටියාගේ නම නිනී.නිනී අද ඉන්නෙ හරිම දුකින්.ඒ නිනීගෙ හොඳම යාළුවා අද එයාගෙ රටට යන්න යන දවස නිසා.එයාගෙ යාළුවගේ නම ටෝබු.ටෝබු කියන්නෙ හරිම ලස්සන සංචාරක කුරුල්ලෙක්.
ටෝබු සෑම වසරකම යුරෝපයේ ඉඳන් එයාගෙ නෑයො ගොඩක් එක්ක ලංකාවට පියාඹගෙන එනවා. ඒ සීතකාලය මග හරින්න.අවුරුද්දේ අවසාන කාලය හරිම සීතලයි.ඉතින් ඒ නිසා එයාල සීත කාලය ගත කරන්න තෝරගත්තෙ මූද මැද තියෙන,ඉර එළියෙන් කිසිම අඩුවක් නැති ලංකාව.ඒක හරිම වෙහෙසකර ගමනක්.දිගු දුරක් පියාඹනවා විතරක් නෙවෙයි විවිධ දේශගුණික තත්ව,සතුරු කරදර වලටත් එයාලට මුහුණ දෙන්න වෙන නිසා.ඒ විතරක් නෙවෙයි මේ ටෝබුගෙ පළමු ගමන නිසා එයා හරිම වෙහෙසකින් හිටියෙ.සෑම වසරකම එන සුපුරුදු ඉසව්වට වැඩිහිටි කුරුල්ලන්,දෙමාපියන් සමග ආව ටෝබුට වටපිට බලන්නත් කලින් වෙහෙස නිසාම නින්ද ගියා. ඒ සුළං රැල්ලට ලස්සනට තාලෙට පැද්දෙන ගහක අත්තක් උඩ.එයාගෙ නෑයො හැමෝම අවට විවේක ගනිමින් හිටියා.අම්මයි තාත්තයි ටෝබු ලඟටම වෙලා හිටියා.ඒ නිසා සැනසිලි දායක දිගු නින්දකට කිසිම අවහිරයක් තිබුණේ නැහැ.
දිගු වෙලාවකට පස්සෙ ටෝබු ඇහැරුණා.ඉර ඈත ගස් අතරින් ගිලෙමින් තිබුණා.ලස්සන කහපාට එළියකින් පරිසරය නැහැවුණා.නම නොදන්නා පාට පාට මල් රැසක් තාලෙට සුළඟට නැලවෙමින් හිටියා.
“ආනේ,කොච්චර ලස්සනද?මට හිතා ගන්නවත් බැහැ?”
ටෝබු තමන්ටම කියා ගත්තා.ඒත්…හරිම වැඩේනෙ.එයාගෙ නෑයො කිසිම කෙනෙක් අහල පහල නැති බව ඉක්මනින්ම ටෝබු තේරුම් ගත්තා.
“අම්මා,අම්මා,තාත්තා ”
තමන් නොදන්නා දුරු රටක අතරමං වී ඇති බව ටෝබිට තේරුණා.තව දුරටත් මල්වල ලස්සනවත්,ඉරේ ලස්සන කහපාට එළියවත්,සුළඟේ තාලයට පැද්දෙන අත්තේ සුවයවත් ටෝබුට දැනුනේ නැහැ.එයා හයියෙන් අඬන්න පටන් ගත්තා.
නිනී සවස සුපුරුදු අඩ නින්දේ සිටියා.පුංචි දිය කඩිත්තකින් නා ගත් නිනීට පුංචිම පුංචිම නින්දක් ආවේ දන්නෙම නැතිව.එක පාරටම කාගේදෝ හැඬුමකින් අවදිවුණ නිනී දැක්කේ මීට පෙර දැකලා නැති අමුතුම ජාතියේ කුරුළු පැටියෙක් දුකින් හඬමින් ඉන්න බව.නිනී පුදුමයෙන් ආගන්තුක කුරුළු පැටියා ලඟට ගියා.
“ඔයා කවුද?ඇයි අඬන්නෙ?”
නිනී සෙමින් ඇසුවා.කුරුළු පැටියා මඳක් විපිලිසරව හැඬුම නවතා කතා කලා.
“මම ටෝබු,මම ආවෙ පිට රට ඉඳලා.එහේ සීතල නිසා තමා මෙහේ එන්නෙ.ඒත් මම මේ ආව පලවෙනි වතාව”
ඔන්න දැන් නිනීට මතක්වුණා.එයාල ආසම කාලය එලෙඹිමින් තියෙන බව එයාට මතක් වුණා.ටෝබු වගේ කුරුල්ලො මීට කලින් හමුවී තිබුණ බවත් මතක් වුණා.
“ඔව්,සමහර අය හැමදාම මෙහේ නවතින අයත් ඉන්නවා.එයාල මේ රටට ආසයි”
නිනී ආඩම්බරයෙන් කිව්වා.
“ඒත් මම නම් ආසයි සංචාරක කුරුල්ලෙක් වෙන්න.අම්මා මට කිව්වා මාව ඒකට ගැලපෙන්නෙ නැහැ කියලා.ලොකු දුරක් පියාබන්න හරිම අමාරුයිලු.ඒත් ඒක නෙවේ,ඇයි ඔයා අඬන්නෙ.පොඩ්ඩක් වටපිට බලල එන්නකො.ඉන්න මම ඔයාව හැම තැනම එක්කන් යන්නම්.”
“මම ආවෙ මගෙ අම්මයි,තාත්තයි,තව නෑයො ගොඩකුයි එක්ක.මට මහන්සි නිසා නින්ද ගියා.මම ඇහැරෙද්දි එයාල කවුරුත් නැහැ.ඔක්කොම කොහේද ගිහින්.මාව තරමං වෙලා.”
ටෝබු ආයෙමත් අඬන්න පටන් ගත්තා.
“හා,හා,හා අඬන්න එපා.මම ඔයාට එයාලව හොයල දෙන්නම්.අඬන සංචාරක කුරුල්ලෙක්ව මම මේ දැක්කමයි.අපිට නම් එයාල හරිම වීරයෝ.මට මගෙ අත්තම්මා ලස්සන කතා ගොඩක් කියලා දීල තියෙනව එයාල ගැන”නිනී කියවගෙන ගියා.
ටෝබුට ඔන්න ඒ සැරේ නම් ලැජ්ජා හිතුණා.ඔව්,කලබල වෙන්නෙ නැතුව පොඩ්ඩක් ඉන්න තිබ්බනෙ කියලා එයාට මතක්වුණා.ඉන්න තැනින් පොඩ්ඩක් එහාට පියාඹලා බලන්නත් තිබ්බනෙ.
“මම ටෝබු”ටෝබු සිනාසෙමින් පිහාටුවක් දික් කළා.
“මම නිනී”නිනීත් පිහාටුවක් දික් කළා.පිහාටුවට පිහාටුවක් ගැටුණා.දෙන්නා ඕන් යාළුවෝ වුණා.නිනී ටෝබුව එයා දන්න හැම තැනකම එක්කන් ගියා.අන්තිමේදී ටෝබු දැක්කා එයාගෙ නෑයො ඔක්කොම විශාල පිට්ටනියක කෑම ගනිමින් ඉන්න බව.ටෝබුට හරිම සතුටුයි.එයා ඉක්මනින්ම අම්මවයි තාත්තවයි හොයා ගත්තා.නිනීවත් එයාලට හඳුන්වලා දුන්නා.නිනීට හරිම සතුටුයි.එයාගෙ යාළුවො කාටවත් යාළුවෙක් විදියට පිට රටින් ආව සංචාරක කුරුල්ලෙක් ඉඳලම නැහැ කියලා එයාට මතක් වුණා.ටෝබුගෙ නෑයො හරිම මිත්‍රශීලි අය නිසා එයාලගෙ රටේ විස්තර ගොඩක් නිනී එයාලගෙන් දැනගත්තා.
ඔන්න ඉතින් ටෝබුට එයාගෙ අම්මයි තාත්තයි නෑයොයි වගේම නිනීට හොඳම හොඳ යාළුවෙකුත් ලැබුණා.