හා හාමි ඔන්න කොහේදෝ මන්දා ගමනක් ගිහින් ගෙදර ආවා.ගේ ඇතුලට යන්න කලින් එයා පුදුම දෙයක් දැක්කා.මොකද්ද දන්නවද?ගෙදර දොර ගාව සපත්තු ගොඩයි.සීයකටත් වැඩියි.ආනේ මාව බලන්න මගේ යාලුවො ඇවිත් වගේ කියලා හා හාමි සතුටින් හිතුවා.කාලෙකින් යාළුවන්ව හම්බවෙන්න කතා කරන්න බැරිවුණ නිසා එයාලා හා හාමිව බලන්න එන්න ඇති.ඒත් ඒ එක්කම හා හාමිට මතක් වුනා ගෙදර කෑම බීම මුකුත්ම නෑ නේද කියලා.කාලෙකින් ආව යාළුවන්ට හොඳට සංග්‍රහ කරන්නත් ඕනනෙ.ඒ නිසා එයා ගේ ඇතුලට ගියේ නැහැ.ඉක්මනින් හොරෙන්ම ගේට්ටුවෙන් පිටවුණා..ඉක්මනින් ම හැරුණා.කඩේට දිව්වා.තමන්ව පුදුම කරන්න නොකියා ආව යාළුවන්ට,පුදුම හිතෙන සංග්‍රහයක් කරන්න හා හාමිට ඕනවුණා.
ඒක ලොකුම ලොකු සුපර් මාකට් එකක්.ඉතින් හා හාමි බඩු දාන්න ලොකුම ලොකු කරත්තයක් ගත්තා.රාක්ක වටේ ඇවිද ඇවිද යාළුවන්ට සංග්‍රහ කරන්න සුදුසුයි කියලා හිතෙන දේවල් තෝරන්න ගත්තා.ඒ ඒ අය ආස කෑම මොනවද කියලා කල්පනා කරමින් කිසිම අඩුවක් නොවෙන්න කෑම ජාති,බීම ජාති කරත්තයට දා ගත්තා.දැන් කරත්තයේ බඩු කොච්චර ද කියනව නම් හා හාමිව පේන්නෙත් නැහැ.
ඔන්න ඉතින් කරත්තයත් තල්ලු කරගෙන හා හාමි ගෙදර එන්න පිටත් වුණා.සතුට වැඩි කමට සිංදුවකුත් කියවුණා.හා හාමිගේ සංග්‍රහය දැකලා පුදුම වෙන යාළුවන්ගෙ මුහුණු එයා කලින්ම මවා ගත්තා.
ඔන්න ඉතින් හා හාමි හෙමින් හෙමින් ගෙට ඇතුල් වුණා.කෝ මේ යාළුවෝ…..හා හාමි හිතුවෙ ගේ ඇතුලේ ඉඩ මදිත් වෙලා ඇති කියලා.ඇයි සපත්තු ගොඩක් දොර ගාව පිරිලානෙ.කෝ මේ ආව අය,මාව පුදුම කරවන්නත් එක්ක හැංගිලාවත්ද ?එහෙම හිතපු හා හාමි සීරුවට වටපිට බැලුවා.
හාන්සි පුටුවේ දිග ඇදිලා හිටිය යාළුවා දැක්ක හා හාමිට ඔන්න එතකොටයි වුනේ මොකද්ද කියලා තේරුණේ.ඇවිත් තිබ්බෙ හැකරැල් හාමි.අල්ලපු ගමේ යෝධ හැකරැල් හාමි.එයා අනික් හැකරැල්ලන්ට වඩා ගොඩක් ලොකු නිසා හැමෝම එයාට යෝධයා කිව්වා.එයා හා හාමිටත් වඩා ටිකක් උසයි.හැකරැල් හාමි එයාගෙ සපත්තු ඔක්කොම ගලවලා සනීපෙට නිදි.
හරිම වැඩේ,දැන් මොකද කරන්නෙ?කකුල් ගොඩක් තිබ්බට යෝධ හැකරැල් යාළුවට තියෙන්නේ එක කටයිනෙ.ඒ කටින් කොහොමද මෙච්චර කෑම කන්නෙ.කැලේ යාළුවෝ ඔක්කොටම කන්න තරම් කෑම බීම හා හාමි අරන් ඇවිත් තියෙන්නෙ.
හා හාමිට නොදැනීම “අනේ අපරාදෙ මම කිසිම දෙයක් හොයන්නෙ බලන්නෙ නැතිව කරපු වැඩේ’’කියලා දුකින් කියවුණා.ඔන්න එතකොටම ඒ සද්දෙට නින්ද ගිහින් හිටිය හැකරැල් යාළුවටත් ඇහැරුණා.එයා හරිම සතුටින් හා හාමිව වැලඳ ගත්තා.
“හා හාමි ඔයා ආවද?මම ඔයාට ආරාධනාවක් කරන්නයි මේ ආවෙ,ඔයා මගේ හොඳම හොඳ යාළුවනෙ ඉතින්,ඒ නිසා ඔයා එනකම්ම හිටියා.ඔයාට මතකද අද දවස ? ඔයාට අමතක වෙන්න විදියක් නම් නැහැ.”
ඔන්න එතකොටම හා හාමිට මතක් වුණා.අද හැකරැල් යාලුවාගේ උපන්දිනය.හා හාමිට එයාගෙ උපන් දින සාදයට ආරාධනා කරන්නයි එයා ඇවිත් තියෙන්නෙ.ඔන්න හා හාමිට එක පාරටම හොඳ අදහසක් මතක් වුණා.
“යාළුවේ,ඔයාගෙ උපන් දිනයට මගේ ගානෙ සාදයක් සූදානම් කරන්නම්.මම දැනටමත් ඒකට ඕන ඔක්කොම බඩු අරගෙන ඇවිල්ලයි තියෙන්නේ”
හැකරැල් යාළුවට හරිම සතුටුයි.එයා ගෙයින් එලියට ඇවිත් බැලුවා.ඇත්ත නේන්නම්.කරත්තයක් පිරෙන්න නා නා ප්‍රකාර බඩු.එයා ආයෙමත් හා හාමිව වැළඳගෙන ස්තුති කළා.ඔන්න ඉතින් දෙන්න එක්කම කැලේ වටේම ගිහින් කැලේ යාළුවෝ ඔක්කොටම හවස සාදයට ආරාධනා කලා.යාළුවන්ගෙන් කීප දෙනෙක්ම උදව් කරන්න වේලාසනින්ම ආවා.
ඔන්න ඉතින් එදා හවස සාදය ජයටම පැවැත්වුණා.තෑගි බෝග ගොඩක් අරන් හැම පැත්තකින්ම වගේ යාළුවො ආවා.කෑම බීම ජයටම තිබුණා.කාටවත්ම පොඩ්ඩක්වත් මදි වුණේ නම් නැහැ.
තමන්ට ලැබුණ තෑගි බෝග වලින් ලොකු කොටසක් හා හාමිට දෙන්නත් හැකරැල් යාළුව අමතක කලේ නැහැ.
හා හාමි වගේ යාළුවෙක් ලැබුණේ වාසනාවට කියලා හැකරැල් යාළුවා හැමෝටම කිව්වා.වෙච්චි වැඩේ දන්නෙ හා හාමියි අපියි විතරයිනෙ.නේද?