ගිම්හානි හිටියේ චූටි දූට කිරි හදන ගමන්.එයාට මේ වෙලාවට කිරි එකක් ඕනෑ.නින්දකින් ඇහැරිලා ඉන්න පුංචි මෙතුලි කිරි එකක් බීලා සෙල්ලම් කරන්න පටන් ගන්නවා.
“වැනේලු කළු වැනේලු..
රෑට බතල ලිපේලු…”
අත්තම්මාගේ සින්දුවට මෙතුමි හිචි බිචි ගගා හිනාවෙනවා.ඉෂාරගේ අම්මා ඔහොම කියන්නේ හිතලා මැනලා කිරලා බලලා වුණානම් ගිම්හානිගේ පපුව හත්කඩකට පැලෙන්න තිබුණා.ඒත් අම්මා කියන්නේ සින්දුවක්.ඒකමයි ගිම්හානිටත් තියන සැනසිල්ල
“නැණ ගුණදම්
රුව පැහැතුම්
ඇති අය නම්
රෝස කුසුම්..”
“රෝෂ මල බබාද ආත්තම්මා..”අත්තම්මාගේ ඊළඟ කවිය අහගෙන හිටිය මෙතුමිට ප්‍රශ්නයක්.ඔය ප්‍රශ්නේ අහනවා ඇත්තේ බෙල්ල බදාගෙන අත්තම්මට තුරුළු වෙලා.”අප්පච්චිගෙ කපටිකම් ටික එහෙම්මම ඇවිල්ලා.” ගිම්හානිට හිනාත් යනවා.ඒ කාලේ මොනතරම් නම් ආලවට්ටම් දමදමා පස්සෙන් කැරකුණාද ඉතින් කියලා මතක් කිරීම පවා හීන් සන්තෝසයක්.ගිම්හානි ඒ දවස් මතක් කර කර මුළුතැන්ගෙයින් එළියට ආවා.
“පුදුම අව්වක්නෙ අම්මේ…බලන්නකො හවස හතරටත් තියන අව්ව.”
ඉෂාරගේ අක්කා ඉෂානි ගෙට ගොඩ වෙන හඬ ඇහුණු ගිම්හානිට ආවේ නුරුස්සන හැඟීමක්.සන්තෝසදායක හැඟීම හොරු අරන් ගියා වගේ.අකමැති මිනිස්සුන්ට මොනතරම් සෘණාත්මක හැඟීමක් අපට දෙන්න පුලුවන්ද කියලා ගිම්හානිට හිතන්න පටන් ගත්තා.
“හරි අව්වයි තමා.මං මේ චුටික්කිව ඇතුළට කරලා තියන් ඉන්නෙ පුදුම අමාරුවකින්.”
අම්මා අක්කාට එකඟ වෙන හඬ ඇහුණා.ඉෂානි අක්කගෙ හිනාව පුපුරලා ගියේ කට කැඩිච්ච කතාවක් කියන්න කියලා ගිම්හානි දන්නවා.ඔය කතාව දවසකට පාරක් හරි මතක් නොකර අක්කට නින්ද නොයනවා ඇති.
“එයා අව්වට බේරන්නේ මොකටද? තව කොහේ කලු වෙන්න ද? “
ඒ වචන වල කැත කියලා ගිම්හානිට හිතුණා.තර්ක කිරීම හරි දොස් පැවරීම හරි කළාටත් වැඩක් නැති අක්කා ගැන ගිම්හානිට එක් අතකට දැනෙන්නේ අනුකම්පාවක්.
“පොඩි එකෙක් අව්වෙන් බේරන්න ඕන කලුවෙනවට ද? දන්න කමට අව්ව නටන්න ගිහින් චූටික්කිට ඔලුව කැක්කුම හැදෙනවට මම කියන්නේ?”
අම්මගේ කටහඬ සැරයි.ඒ මීට අවුරුදු පහකට කලින් ඉෂාර අම්මාත් අක්කාත් එක්ක තමන් බලන්න ආව දවසේ අක්කාට කතා කරපු හඬමයි.
“ඔයා කලුයිනෙ අනේ..මොකුත් සුදු වෙන්න ගාන්නේ නැද්ද?”
ඉෂානි තුළ පෙරලලා එහෙම අහනකොට ප්‍රේමවන්තයා තමන්ට අහිමි වෙන්න වැඩි වෙලාවක් නෑ කියලා ගිම්හානි හිතා ගත්තා.ඒත් ඉෂාරගේ අම්මා එදත් ගිම්හානි දිහා බලාගෙන හිටියේ ආදරණීය ඇස් දෙකකින්.
“කලුයි සුදුයි කියලා දෙයක් නෑ ගෑනු ළමයෙක් වුණාම සිරියාවන්ත වෙන්න ඕන.මල්ලිට ලස්සන ගෑනු ළමයානෙ එයා තෝරගෙන තියෙන්නෙ.”
අම්මා එදා බොහොම සැරින් කියපු හැටි ගිම්හානිට මතකයි.මංගල උත්සවයට ඇඳුම් තෝරද්දි ගිහින් ගිම්හානි සුදම සුදු වෙනකම් මේකප් කරන්න කියලා අක්කා කියනකොටත් ඒව තඹයකට මායිම් නොකරන්න ගිම්හානි තීරණය කළේ ඉෂාරගේ අම්මගේ තිබුණු ආදරය නිසාමයි.
“කොල්ලෙක් වුනොත් හොඳයි.කෙල්ලෙක් වෙලා ඔයා වගේ කළු වුණොත් එහෙම..
ගිම්හානි අම්ම කෙනෙක් වෙන්න යනව කියල දැනගත්තු ගමන් එහෙම කියන්න ඉශානි වග බලාගත්තා.ඒ කතාව මොන තරම් හිත රිදෙන කතාවක් ද කියලා ගිම්හානි ට තේරුණේ ඊට පස්සේ මම සුදු වෙන්න කියලා එක එක පලතුරු එළවළු ජාති ගෝනි ගණන් කන්න බොන්න හිතෙනකොට.
“දුවගේ ජීවිතේ එක තැනකවත් ඔය හමේ පාට ප්‍රශ්නයක් උනාද?”
ලැබෙන්නේ ඉන්නෙ දුවෙක් කියලා ස්කෑන් පරීක්ෂණයෙන් දැන ගත්තට පස්සේ හිත රිදවා ගත්ත ගිම්හානි හැමදාම උදේට කැරට් ජූස් වීදුරුවක් බොන්න පටන් ගත්තම නැන්දම්මා එහෙම අහපු හැටි ඇයට තාමත් මතකයි.
“හොඳට ඉගෙන ගන්න,විශ්වවිද්‍යාලයකින් උපාධියක් ගන්න,හොඳ මහත්තයෙක් තෝරගන්න දුවට හමේ පාට හරස් වෙලා නෑනේ.ඔයා හිතනවද ඉස්සරහට ඔයාගේ දුවට එහෙම වෙයි කියලා?”
නැන්දම්මා කෙනෙක් නොකියන වර්ගයේ කතාවක් එක්ක ඉෂාරගෙ අම්මා එහෙම ඇහුවා.මෙතුමි ඉපදුණාම කන් දෙක කළුද බලන්න ඉෂානිට හදිස්සි වෙනකොටත් ගිම්හානි හිත රිදෝ ගත්තේ නැත්තේ ඒ නිසා.
මොනවට රිදෙන්නද? තමන්ගෙ ෆොටෝ කොපි එකක් වගේ දුවෙක් කියන්නේ මොන තරම් සතුටක්ද?
“දුවගේ පෙනුම වගේම ගතිගුණත් එන්න චූටික්කි හැදුනොත් හොඳයි.දැන් ඔය අපේ ඉෂානි පේන්නැද්ද මගේ හැඩරුව තිබුනට ගතිගුණ අහලකින් වත් නෑනෙ..”
නැන්දම්ම කියන වෙලාවට ගිම්හානි ඇයත් එක්ක හිනාවට එකතු වෙනවා.නැන්දම්මා කොච්චර හොඳ වුණත් වෙලාවට ගිම්හානිට කළකිරෙන්නේ ඉෂානිගේ මේ කළු කතාව නිසාමයි.
“බබාට කහයි කොහොඹ කොලයි අඹරලා ගාන්න පටන් ගන්න ගිම්හානි.මොන්ටිසෝරි යන්නත් ළඟයිනෙ දැන්.”
ඉෂානි එහෙම කියද්දී ගිම්හානි පියවි ලෝකයට ආවා.හැමදාම ඉෂානිගේ කතාවට එරෙහි වෙන්නේ අම්මා.ඒත් තමන්ගේ දරුවා වෙනුවෙන් තමන් නැගී හිටින්න ඕන.ගිම්හානිට එහෙම හිතෙන්න පටන් ගත්තා.
“ඇයි අක්කේ ඒ..”
කළු ළමයෙක් ඉස්කෝලෙදි කොන් වෙන්න පුලුවන් බව ඉෂානි කියනකොට ගිම්හානි නෑනන්ඩිය දිහා බලන් හිටියේ ඉවසීමෙන්.
“අක්කේ..මට ඕන වුණේ ගතිගුණවලින් සුදු දරුවෙක් හදන්න.මගේ දූ කළුයි තමා.ඒත් එයා ඒ පුංචි වයසට හරිම හොඳ දරුවෙක්.මං දැකල තියනවා උදේට මිදුලට ගිහින් දෙමලිච්චන්ට පවා ගුඩ් මෝනිං කියනවා.ඕනම දෙයක් බිම පෙරළි පෙරලි අඬලා ඉල්ලන්නෙ නැතුව ප්ලීස් කියලා ඉල්ලන්න එයා දන්නවා.මට එයාගෙ ඒ දේවල් තමයි වටින්නේ.”
ගෙදර ඉන්න පූස් පැටියා වතුර භාජනවල ඔබන,බිම පෙරලිලා හූ තියලා අඬලා ඕන දේ ඉල්ලා ගන්න තමන්ගේ පුතාව මතක් වුණු ඉෂානිගේ කට වැහිලා ගියා.ගිම්හානි එහෙම කියාවි කියලා ඉෂානි කවදාවත් හිතුවේ නෑ.
“දරුවෙක් සුදුපාට වෙන්න ඕන හමෙන් නෙවේ.ගතිගුණවලින්..”
ගිම්හානි එහෙම හිතන ගමන් මෙතුමිගේ හිස සිප ගත්තා.අම්මාගේ මුහුණට ආඩම්බර හිනාවක් එනවා ගිම්හානි දැක්කේ ඒ වෙලාවෙමයි.
නිබන්ධිකා වන්නිනායක