බට්ටිගෙ පළවෙනි කිරි දත අද හැලුණා.බට්ටිට හරිම දුකයි.දත අතේ තියාගෙන එයා කල්පනා කලා.කණ්නාඩිය ලඟට ගිහින් හිනාවුණා.දත් දෙක අතර හිඩැස හරිම කැතයි කියලා එයාට හිතුණා.දැන් කොහොමද හිනා වෙන්නේ?දන්නෙම නැතිව බට්ටිට ඇඬුණා.
ඒ සද්දෙට අත්තම්මා දුවගෙන ආවා.එයා බට්ටිව වඩා ගත්තා.කඳුලුත් පිහ දැම්මා.බට්ටිගෙ අත්තම්මා කිව්වා කිරි දත වහලට වීසී කරන්න කියලා.එතකොට ලේනෙක් අලුත් දතක් අරන් එනවලු.ඔන්න දැන්නම් බට්ටිට හරිම සතුටුයි.දත වීසි කරල ඒක ලේනාට කොහොමද කියන්නෙ කියලත් අත්තම්මා බට්ටිට කියලා දුන්නා.
බට්ටි සතුටින් එලියට දුවගෙන ගියා.ලේනෙක් වහල උඩ එහෙ මෙහෙ දුවමින් ඉන්නවා.ලේනා පොඩ්ඩක් නවතිනකම් බලාගෙන හිටිය බට්ටි ඉක්මනින් දත වහල උඩට වීසි කලා.ඒ විතරක් නෙවෙයි
“ලේනෝ ලේනෝ මේ දත අරන් කැකුලු දතක් දියෝ “ කියලා ආත්තම්මා කියා දුන්න විදියටම කෑ ගැහුවා.ඒත් ලේනාට තවත් කියන්න දේකුත් බට්ටිට තිබුණා.
“ඔයා මට දතක් ගෙනත් දෙනකම් මම කා එක්කවත් හිනා වෙන්නෙ නම් නැහැ” එයා කලින්ට ත් වඩා හයියෙන් කෑ ගහලා කිව්වා.
වහල උඩ හිටිය ලේනාගේ නම ටිනී.ටිනී එයාගෙ ලඟට මොකද්ද වැටුනේ කියලා කලබලෙන් බලද්දීම පුංචි ගෑණු ළමයා කියපු දේ ඇහුණා.එයාට හිනා වෙන්න නම් ටිනී දතක් අරන් එන්නම වෙනවා.මෙච්චරකල් කවුරුත් ටිනීට එහෙම කියලා නැහැ විතරක් නෙවෙයි පහල හිටිය ගෑණු ළමයාගෙ එක දතක් අඩු කටත් ටිනී හොඳටම දැක්කා.
ඉතින් මොනවද කරන්නෙ කියලා නොදන්න ටිනී එයාගෙ පවුලේ අය ගාවට ගියා.ටිනීගේ ආතා නම් කිව්වේ පරම්පරා ගණනාවක් තිස්සේ ළමයි එයාලගෙන් දත් ඉල්ලනව කියලා.එහෙම ඉල්ලන්නෙ ඇයි කියලා එයාලට හිතා ගන්නත් බැහැ කියලා.ඉතින් පවුලේ හැමෝම කිව්වෙ ඒ සිද්දිය අමතක කරන්න කියලා.
ටිනී එයාගෙ යාළුවො ලඟට ගියා.එයාලගෙ අදහස වුනෙත් ඒකමයි.ඒත් ටිනීට අමතක කරන්න අමාරුම දේ දතක් නැතිව ඉන්න පුංචි ගෑණු ළමයාට දතක් ලැබෙනකම් හිනාවෙන්න බැහැ කියන එක.හිනා නොවී දුකින් ඉන්න ගැහැණු ළමයාව ටිනීට මැවිලා පේන්න පටන් ගත්තා.හිනා වෙනකොට ළමයි කොච්චර නම් ලස්සනද කියල ටිනී දන්නවා.ළමයි විතරක් නෙවේ.හිනා වෙද්දි සත්තු,මිනිස්සු,ගස්,මල්,වැල්,අහස,ඉර,වළාකුලු,තාරකා මේ කොයි කවුරුත් ලස්සනයි.
සමහර විට නගරයේ කඩ සාප්පු වල දත් ඇති.එහෙම හිතපු ටිනී ගහෙන් ගහට පැන පැන නගරයට ගියා.නගරයේ සාප්පුවල නාම පුවරු බලාගෙන ඇවිදිද්දී ලොකුම ලොකු දතක රූපයක් ලොකු පුවරුවක තියෙන තරමක් ලොකු ගොඩනැගිල්ලක් දැක්කා.ටිනීට හරිම සතුටුයි.මේ නම් දත් කඩයක් වෙන්න ඇති කියලා හිතපු ටිනී ඉක්මනින්ම ඇතුලට ගියා.
පුංචි ළමයි ගොඩක් තැනින් තැන හිටියා.දත් කලු පාට අය,දත් කැඩුණු අය,දත් තියෙන අය එක එක වර්ගයේ ළමයින්ට දොස්තර මාමා කෙනෙක් එයාලගෙ දත් ගැන කියලා දුන්නා.දත් එන්න නම් කන්න ඕන කෑම මොනවද කියලා ටිනීත් දැනගත්තා.කැල්සියම් බහුල ආහාර තමා ගන්න ඕනා.ඒ විතරක් නෙවෙයි දවසට දෙපාරක් දත් මදින්නත්,දත් නිවැරදිව මදින්නෙ කොහොමද කියලාත් ,වැඩිපුර පැණි රස කන ළමයින්ගෙ කැත,කලුපාට දත් එයාලව කොච්චර කැත කරනවද කියලාත් ටිනී දැක්කා.
ටිනීත් ඒ පාඩම් හිතට ගත්තා.ඒ විතරක් නෙවෙයි ඒ විස්තර ලස්සනට ලියපු සටහන් ගොඩක් දොස්තර මාමා ළමයින්ට දුන්නා.ටිනීත් හිමින් එයින් සටහන් ගොනුවක් ගත්තා.
ටිනී නගරෙට ගිහින් ආවේ හරිම සතුටින්.දත් ගැන විස්තර ගොඩක් දැනගෙන.ඉතින් එයා ඉක්මනින්ම බට්ටිගේ කාමරේට ගිහින් එයාගෙ මේසෙ උඩ අර සටහන් ටික තිබ්බා.කොහේදෝ ඉඳලා දුවගෙන ආව බට්ටි ඒ සටහන් ටික දැකලා පුදුම වුණා.ඉක්මනින්ම කියෙව්වා.ලස්සන හිනාවක් එයාගෙ මුහුණේ ඇඳෙනවා දැකපු ටිනීට හරිම සතුටුයි.