hit counter code

දරුවාගේ බුද්ධි වර්ධනයට මවක් ලෙස ඔබේ භූමිකාව

Share on facebook
Facebook
Share on whatsapp
WhatsApp
Share on pinterest
Pinterest

ඕනෑම අම්මෙක්ගේ බලාපොරොත්තුව තමයි තමන්ගෙ දරුවා ලෝකයම ජයගන්න එක.. උගත් බුද්ධිමත් යහපත් පුරවැසියෙක් විදියට සමාජයට දායාද කරන එක. මේ විෂම සමාජයේ ආරක්ෂාකාරී විදියට ජීවත් වෙන්න පුරුදු කරවන එක… ඉතිං කුඩා කාලයේ ඉඳන් ම ඒ විදියේ ශක්තිමත් බුද්ධිමත් යහපත් දරුවෙක්ව උස්මහත් කරන එක මවුවරුන්ට පහසුවෙන් කරන්න පුළුවන් වගේම වගකීමක්..

වර්තමාන සමීක්ෂණ වලින් ඔප්පු වෙලා තියෙනවා කළල අවදියේ පටන් දරුවන්ගේ හැසීරීම් රටා සහ ඒ ආශ්‍රිත මොළේ වර්ධනය සිදුවෙන බව. මේ බව අපේ පැරැන්නන් අතීතයේ පටන් දැනගෙන සිටියා. ඒ නිසා ගැබිනි මව නිතරම ඇස කන නාසය දිව සහ සම ඔස්සේ යහපත් දේ පමණක් ලබා ගන්නට උත්සුක වුණා. ඒ වගේම පවුල් සාමාජිකයන් , වෙනදා කලකෝලාහල කරගත් සාමාජිකයන් වුණත් ගැබ් කාලය තුළ මවගේ පහසුව තකා සියල්ලම සිදුකළේ මවත් කුසේ වැඩෙන දරුවාත් නීරෝගීව තබන්න. ඇය කැමති ආහාර ලබාදුන්නා, ඇයට ආගමානුකූල ජීවිතයක් ගත කරන්නට ඉඩහසර සහ කාලය ලබාදුන්නා.
මෙය ඉතාමත් වැදගත්. ගර්භනී කාලය තුළ මව සෞම්‍ය සාමකාමී වටපිටාවක් තුළ කායික සහ මානසික පීඩනයක් රහිතව සතුටින් ජීවත් වීම කුසේ වැඩෙන දරුවාගේ වර්ධනයට ඉතා වැදගත්.
එසේම මේ කාලය තුළ ජනගහනය රැස් වන ස්ථාන වලින් හැකිතාක් දුරස්ථව කටයුතු කරන්නට ගැබිණි මවට උපදෙස් දෙනු ලබන්නේ අනවශ්‍ය විෂබීජ වලට ඇය සහ ගැබ නිරාවරණය වීම වළක්වන්නයි.

දරුවා ඉපදුනු පසු මවගේ මානසික යහපැවැත්ම ඉතා වැදගත්.
-Happy mom Happy kid-
ඒ කොහොමද කියල අපි බලමු..

උගත් බුද්ධිමත් දරුවෙක් හදා වඩා ගැනීමේ මූලික කාරණා කිහිපයක් තිබෙනවා. කළයුතු දේ සහ නොකළ යුතු දේ පිළිබඳ අවබෝධයක් දරුවාට ලබාදීම, දරුවාගේ සතිමත් බව සහ හැඟීම් පාලනය සඳහා දරුවා හුරු කිරීම ඉන් ප්‍රධානයි.

උපතේ සිට අවුරුදු දෙකක් පමණ යනකම් දරුවා ගතකරන්නේ ඉතා වේගවත් වර්ධන අවධියක්. මේ කාල සීමාව තුළ දරුවාගේ හැසීරිම් රටාව තුළින් බුද්ධිය වැඩිකිරීමට මවට කළහැකි දෑ අපි විමසා බලමු.

දරුවා ඉපදුණු පසු අයහපත් දේවලි වලින් දරුවා ඈත් කර තබාගත යුතුයි. ඒ සඳහා වයසට උචිත විදියට දරුවාට හොඳ නරක කියලා දෙන්න පුළුවන්. දරුවාට නිර්භීත කම පිළිබඳ හැඟීමක් ඇති කරවන මේ නැලවිලි ගීතය දෙස බලන්න.

” ඔන්න බබෝ ඇතින්නියා

ගල් අරඹේ සිටින්නියා

ගලින් ගලට පනින්නියා

බබුට බයේ දුවන්නියා….”

මෙයාකාරයේ සෞම්‍ය සහ පහන් හැඟීමක් ඇති කරන ගීත සහ කවි දරුවාට ඇසෙන්න ගායනා කළ හැකියි. ළදරුවන්ට මුලින් මේ වචන නොතේරුණත් ක්‍රමයෙන් වැඩෙනවත් එක්ක මේ වචන වල අර්ථය ඔවුන් වටහා ගන්නවා. ඒ වගේම විශාල සහ වර්ණවත් රූප සහිත කතන්දර පොත් භාවිතා කරමින් දරුවන්ට කතන්දර කියා දෙන්න පුළුවන්. මෙයින් දරුවාට පොත් කෙරෙහි ඇල්මක් ඇතිවීමත් ඔවුන්ගේ ශ්‍රව්‍ය දෘශ්‍ය හැකියාව වැඩිදියුණු වීමත් සිද්ධ වෙනවා. වැඩීමත් සමඟ අලුත් වචන උච්ඡාරණය කරන්න ඔවුන් පුරුදු වෙනවා.

කුඩා දරුවන් හරිම attention seekers ලා. ඔවුන්ට කොහොමත් අවධානය දිය යුතු වෙනවා. තමන්ට අවධානය නොලැබෙන බව දැනුනොත් ඔවුන් එය හොඳින් හෝ නරකින් ලබාගන්න උත්සාහ කරනවා. ‘පොඩ්ඩ එහෙ මෙහෙ උනොත් කෑගහලා අඬනව, සෙල්ලම් බඩු පොළවෙ ගහනව’ මේ බොහෝ මවුවරුන්ගේ වෙහෙසකාරී චෝදනාවක්. අපි කොහොමද මේක වළක්වාගන්නේ ?
අවධානය ඉල්ලා දරුවන් අයහපත් හැසිරීම් පෙන්වීමට පෙර අපි එය වළක්වා ගතයුතුයි. ඒ සඳහා, දරුවා විශේෂ යහපත් හැසිරීමක් පෙන්වූ විට එය අගය කරන්න. ඔබ වැඩක යෙදෙන විට සංසුන්ව සිටින දරුවාගේ එම හැසිරීම අගය කරන්න. පෙර කීවා වාගේම වචනවල අර්ථය හරි හැටි නොවැටහුණත් මුහුණේ ඉරියව් සහ හඬ පාලනය තුළින් ඔවුන් පිළිගැනීමකට ලක්වෙන බව ඔවුන්ට තේරුම් යනවා.
අවධානයක් පිළිබඳ හැඟීමක් නොමැතිව සිටින අවස්ථාවලදි වුවත් ඔවුන් ඔබේ අවධානය යටතේ සිටින බවට සරල ඉඟි ලබාදෙන්න. දරුවාට තමන් සොයන අවධානය සහ අගය කිරීම ලැබෙන්නේ හොඳ චර්යාවක් ඇතිවිට බව ඒත්තු ගන්වන්න.
හොඳ අවස්ථාව උපස්ථම්භක වන්නේ එවිටය.

තමාට එය නොලැබෙන්නේ තමා අතින් වරදක් සිදුවු නිසා බව ඒත්තු ගන්වන්නට වරදක් කළ විට අවධානය නොදෙන බව පෙන්වන්න…

 

ඉතින් මේ විදියට දරුවාට නිතරම අවධානය දෙන්න නම් අම්මා හොඳ නීරෝගි සැහැල්ලු මනසක් සහිතව ඉන්න ඕනේ. ආතතියෙන් ඉන්න මවකට තමන්ගේ දරුවාගේ ඊළඟ පියවර මඟ හැරෙන්න පුළුවන්. නිසි අවධානය දිය නොහැකි වීම නිසා දරුවා අනතුරු වලට ලක්වෙන්න පුළුවන් වගේම මුරණ්ඩු හැසිරීමක් පෙන්වන්නත් පුළුවන්, එය මවගේ ආතතිය තවත් වැඩි කරාවි.

කළයුතු දේ සහ නොකළ යුතු දේ පිළිබඳ දරුවාට අවබෝධයක් ලබාදිය යුතුයි. වයසට අනුව තේරුම් ගත හැකි වචන වලින් බරපතල විදියට නැතිව හොඳ නරක තේරුම් කරන්න පුළුවන්. උදාහරණයක් විදියට දරුවා සෙල්ලම් බඩු විසි කරනවනම් කෙලින්ම එපා! නොකියා සරල විදියට සෙල්ලම් බඩු විසිකිරීම නරක දෙයක් බව කියාදෙන්න පුළුවන්. සෙල්ලම් බඩු විසිකිරීම නිසා බඩු කැඩෙන බවත්, දරුවාට ඇති සෙල්ලම් බඩු ප්‍රමාණය අඩුවන බවත් , දරුවාට අනතුරක් සිදුවිය හැකි බවත් දරුවාට සරල බසින් කියාදියහැකියි. දරුවා එය නොපිළිගෙන නැවතත් එයම කරයි නම් දෙතුන් වතාවක් ආදරයෙන් සහ තරමක් තද පහත් ස්වරයකින් දරුවාට අවවාද දෙන්න. ඉන් නොනැවතී නැවතත් එයම සිදුකරයි නම් එම ක්‍රියාව ඔබ නොසලකා හරින බවත් අප්‍රිය කරන බවත් ඒත්තු ගන්වන්න. ඉහත නිදසුනම ගන්නවානම් දරුවා බඩු විසිකරන අවස්ථාවේදි ඔබ එතනින් නැගිට පිටව ගොස් මද වේලාවක් අවධානය ඔහු/ඇය වෙත නොදීම සිටින්න. මෙය එම අයහපත් හැසිරීම පෙන්වන අවස්ථාවේදීම සිදුකළ යුතුයි. ඒ වගේම එම හැසීරීම් රටා පෙන්වන සෑම අවස්ථාවකදීම මවගේ ප්‍රතිචාරය එකම විය යුතුයි. එවිට මවගේ වෙනසට හේතුව තමාගේ හැසිරීම බව දරුවාට ඒත්තු ගැන්වෙනවා. තමා එසේ නැඟිට ගියේ දරුවාගේ නරක වැඩ නිසා බව පසුව ඔබ දරුවාට කරුණාවෙන් දන්වන්න. එවිට දරුවා සිය වරද තේරුම් ගෙන අයහපතෙහි හා යහපතෙහි වෙනස වටහා ගනු ඇති.

එසේම දරුවාගේ කුඩා හොඳ වැඩක් පවා ඉහළින් අගය කරන්න. නිදසුනක් ලෙස දරුවා අඳින චිත්‍රයක් ගමු. එය අගය කරන්න. දරුවාව තව උනන්දු කිරීමට විටින් විට එයට අදාළ තෑගි ලබා දෙන්න. එය හොඳ කඩදාසියක් , පාට කූරක් වීම පවා ප්‍රමාණවත් (මෙහිදී ටික කලක් ගතවෙන තුරු දරුවා පාටකූරු වලින් අනතුරු කරගනීදැයි සැලකිල්ල්ලෙන් සිටිය යුතුවෙනවා ) දරුවාගේ චිත්‍රය බිත්තියේ ඇලවීම, විටින් විට චිත්‍රය පිළිබඳ මතක් කර එය ලස්සන බව පැවසීම දරුවාගේ සතුටට වගේම හසුරු කුසලතා වර්ධනය කරගැනීමට දරුවාට දෙන රුකුලක්.

කුඩා කාලයේ පටන් දරුවාට ඉවසීම සහ කල්පනාකාරීව වැඩ කරන්නට පුරුදු පුහුණු කිරීම වැදගත්. වැරදි ආහාර රටාවන්ට නොවැටී සිටීම එයට උදාහරණයක්. ඝණ ආහාර වලට පුරුදු වූ දරුවා මවුකිරි ඉල්ලීම සුලබ දෙයක්. නමුත් ආහාර වේල් වෙනුවට මවුකිරි දීම දරුවාගේ වර්ධනයට නරක විදියට බලපානවා. මෙහිදි ප්‍රධාන ආහාර වේලෙන් පසුව මවුකිරි ලබාදීම සුදුසුයි. ඒ වගේම දරුවාගෙ බඩ පිරී ඇත්නම් ඉන්පසුවත් මවුකිරි දෙන්න එපා. එවිට ඊළඟ ආහාර වේල මඟහැරීමට දරුවා පුරුදු විය හැකියි. මෙය එක්වර කළ නොහැකි දෙයක්; එමනිසා ක්‍රමයෙන් අඩු කළ යුතුයි. බඩ පිරී ඇති විටදී ඉල්ලා හැඬූ පමණින් මවුකිරි නොලැබීමත්, ප්‍රධාන ආහාර වේල් සඳහා හුරු වීමත් සිදුවීම තුළින් හැඟීම් පාලනය පිළිබඳ දරුවා ඉගෙන ගනු ඇති. එසේම දරුවා කිසියම් කාර්‍යයක නිරත කරවීම හා ආහාරයක් ලබා දී එය අනුභවයට පෙර මදවේලාවක් රැදී සිටීමට ඉඩ සැලැස්වීම සිදුකළ හැකියි. මෙහිදී දරුවා නොසංසුන් වීමට පෙර මෙය නිමා කළ යුතු අතර, දරුවාගෙ එම ඉවසිලි සහගත යහපත් හැසිරීම පිලිබඳව අගය කිරීමක් ලබාදෙන්න.

එසේම සරල ක්‍රීඩා වලට යොමුවීම තුළින් ජය පරාජය සමසේ විඳදරාගැනීමට මෙන්ම ඉවසීමට දරුවා පුරුදු වෙනවා. කුඩා සෙල්ලම් සඳහා ඔබත් දරුවා සමඟ එක්වීම හොඳ දෙයක්. දරුවා සෙල්ලම් කරන විට ඔවුන්ට පූර්ණ අවධානය ලබාදෙන විට ඔවුන් ඉතා සතුටු වෙනවා.
එසේම යහපත් දෙයක් කරන විට එය දරුවා ලවා සිදුකරවීම ඉතා යහපත්. උදාහරණයක් වශයෙන් කාටහෝ යමක් දෙනවිට එය දරුවාගෙ අතින් දීමට අවස්ථාව ලබාදෙන්න. එවිට එය ලබාගන්නා පුද්ගලයාගේ ස්තූතිකිරීමත් සමඟම එකී ක්‍රියාවෙහි යහපත් බව පිළිබඳ දරුවා වටහා ගන්නවා. බෙදාහදාගැනීමට සහ එහි වටිනාකම තහවුරු කරගැනීමට දරුවා හුරු කරන්න. බලෙන් ක්‍රියාකාරකම් කරවනු වෙනුවට
දරුවා කැමැත්තෙන් කරන ක්‍රියාකාරකම් ගුණ නැණ වැඩෙන පරිදි කිරීමට යොමුකරන්න. එය හොඳින් අගය කරන්න.

පොඩි දරුවන් කියන්නේ නිරීක්ෂණ විශේෂඥයෝ. එමනිසා වැඩිහිටියන්ගේ යහපත් අයහපත් හැසිරීම් සියල්ල උකහා ගනිමින් ඒ ඔස්සේ තමන්ව සකස් කරගන්න ඔවුන් උනන්දු වෙනවා. එමනිසා දෙමාපියන් සහ පවුලේ සාමාජිකයන් යහපත් ජීවන චර්‍යා පවත්වාගැනීම ඉතාම වැදගත්. සෑම විටම නිවැරදි දේ කියාදෙන විට මව්පියන් ඒ තුල පිහිටා ආදර්ශවත් වන්න.

ඔබේ පහසුව සහ දැනුම තකා ඉහත කරුණු හා සමගාමී කුඩා දරුවන්ගේ මොළයේ සහ හැසිරීම් රටාවේ වර්ධනයට කළහැකි තවත් ක්‍රියාකාරකම් කිහිපයක් සැකෙවින් දක්වන්නම්.

  • දරුවාගේ කුඩා ශබ්ද සහ වචන වලට ප්‍රතිචාර දක්වන්න.
  • දරුවාගේ හිසකෙස් සහ සිරුර නිතරම ආදරයෙන් පිරිමදින්න. මවගේ ආදරණීය ස්පර්ශයට දරුවාගේ මොළය වර්ධනය ඉතා සංවේදියි.
  • ප්‍රශ්න අසමින් ඉගෙන ගැනීමට හැකියාවක් සහිත සෙල්ලම් බඩු ලබාදෙන්න.( ජිග්සෝ ප්‍රෙහේළිකා, බිල්ඩින් බොක්ස් වැනි )
  • දරුවාගේ ආතතිමය තත්වය දුරුකිරීමට දරුවා මසාජ් කරන්න.
  • දරුවා හඬන විට නළවන්න, බියවීමට යමක් නැතිවග ඒත්තු ගන්වන්න, ආදරය ලබාදෙන්න.
  • සෙල්ලම් කර අවසානයේදි සෙල්ලම් බඩු අස් කර පිළිවෙළට තැබීම දරුවාට බාර කරන්න. මෙය වර්ගීකරණය සහ පිළිවෙළ පිළිබඳ හොඳ අත්දැකීමක් දරුවාට
  • ලබාදෙනවා වගේම හසුරු කුසලතා වර්ධනයට පිටුවහලක්.
  • දනගාන සහ ඇවිදින දරුවාට උචිත ලෙස බිම සකසා තබාගන්න.
  • කෑම ගන්නා අවස්ථාවේදි ගනුලබන ආහාරයේ නම දරුවාට ඇසෙන්නට ශබ්ද නගා පවසන්න. ඔහු තනිව ආහාර ගැනීමට පුරුදු වන විට එය අගය කරන්න.
  • දරුවා වැරදි කරන විට ශාරීරික හෝ මානසික දඬුවම් ලබාදෙන්න එපා.
  • දරුවාගේ ආත්ම විශ්වාසය , ආත්මාභිමානය පළුදු වන ලෙස ලැජ්ජාවට පත් කරන්න එපා.
  • දරුවාගේ ක්‍රියාකාරකම් සඳහා පැහැදිලි ප්‍රතිචාර නිතරම ලබාදෙන්න.
  • මේ ආකාරයේ ක්‍රියාකාරකම් අවුරුදු එකත් දෙකත් අතර වන දරුවන්ට ඉතා සුදුසුයි.

පොඩි කාලයේ ඉඳන්ම දරුවන්ගේ ජීවිත බලහත්කාරයෙන් පාලනය කරන එක වැරැද්දක්. දරුවන්ට හොඳ නරක තේරුම් ගන්න පුළුවන් විදියට , ඒ අනුව සිහියෙන් බුද්ධියෙන් හැසිරෙන විදියට දරුවන්ගේ මනස සහ මොළය වර්ධනය කරන එක අම්මලාට කරන්න පුළුවන්. කුඩා දරුවෝ සුදු පාට අමු රෙද්දක් වගේ. ඒ සුදු රෙදි ලස්සන විදියට වෛවර්ණ රෙදි බවට පත්වෙන සායම් පෙවෙන්නට පුළුවන් විදියේ වාතාවරණයක් හදන එක අම්මලාගේ යුතුකමක්….!

Share on facebook
Facebook
Share on whatsapp
WhatsApp
Share on pinterest
Pinterest

Latest Articles

ආයුර්වේදයට අනුව කාන්තාවන්ට දරු ඵල ප්‍රමාද වීම සදහා බලපාන ප්‍රධාන හේතු.

විවාහයෙන් අනතුරුව දරුවෙක් බලාපොරොත්තු වුණත් ඒ සිහිනය ප්‍රමාද වෙනවා නම් බොහෝ අය...

Read More

විශේෂ අවශ්‍යතා සහිත දරුවන් නිවැරදිව හඳුනා ගන්නේ කොහොමද ?

සමාජයේ “දරුවන්” වැදගත් ස්ථානයක් හිමිකර ගන්නා කොටසකි. සෑම දෙමව්පියෙකුම තම දරුවන් සමාජ...

Read More

මේ දිනවල වේගෙයන් පැතිර යන ඩෙංගුවලින් වැළකෙමු

ඩෙංගු උණ මාරාන්තික බව අප හැම කෙනෙක්ම දන්නා කාරණාවක්. වෙනත් රෝග සම්බන්ධයෙන්...

Read More

Related Posts

Parenting

විශේෂ අවශ්‍යතා සහිත දරුවන් නිවැරදිව හඳුනා ගන්නේ කොහොමද ?

සමාජයේ “දරුවන්” වැදගත් ස්ථානයක් හිමිකර ගන්නා කොටසකි. සෑම දෙමව්පියෙකුම තම දරුවන් සමාජ ගත කරන්නේ සියලු අවශ්‍යතා, හැකියා දියුණු කිරීමෙන්ය. දරුවන් අතර අවශ්‍යතා තුළින් විශේෂ වූ

Read More »
Parenting

මේ දිනවල වේගෙයන් පැතිර යන ඩෙංගුවලින් වැළකෙමු

ඩෙංගු උණ මාරාන්තික බව අප හැම කෙනෙක්ම දන්නා කාරණාවක්. වෙනත් රෝග සම්බන්ධයෙන් ආරක්ෂා වන්නට කටයුතු කළත් අපේ නොසැලකිලිමත් බව සහ තවත් කාරණා නිසා සෑම වසරකම

Read More »
Parenting

කිරි අම්මා දානය නිවැරදිව දෙන්නේ මෙහෙමයි.

එදා සිට පැවත එන අපේ ගැමියන්ගේ සිරිත් විරිත්, විශ්වාස, ආගමික හැඟීම්  සියල්ලම වගේ විවිධ මුහුණුවරින් අදටත් පවතිනවා. ඒ කොහොම වුණත් ජන විශ්වාස අතරේ බොහොම අර්ථ

Read More »