අලුත උපන් බිළිඳාට මව්කිරි දීමේදී මව්වරුන් බොහෝ දෙනෙක් නොයෙක් ගැටලු වලට මුහුණ දෙනවා. මෙහිදී අලුත උපන් බිළිඳාට නිසි ලෙස මව්කිරි නොලැබීම කියන ගැටලුව හඳුනා ගන්න පුලුවන් . අලුත්ම මව්වරුන්ට වගේම මීට පෙර දරුවෙක්ට කිරි ලබා දුන් මව්වරුන්ටත් මේ ගැටලු ඇති වීමේ ඉඩක් තියන නිසාම අපේ ලිපිය මේ ගැටලුව සම්බන්ධයි.
බොහෝ මව්වරුන්ට තියන ගැටලුවක් තමයි මවට හොඳින් කිරි තිබිලත් දරුවාට කුස පිරෙන තෙක් මව්කිරි ලැබී නැති කම. ඔබට කිරි ඇති තරම් තිබුණත්, දරුවාට බොහෝ වේලාවක් කිරි දුන්නත්, ඉන් පසුත් දරුවා අසහනයෙන් අඬනවා නම් ඉන් අදහස් වෙන්නේ දරුවාගේ කුස පිරෙන්න අවශ්‍ය තරම් කිරි ලැබී නැති බවයි.දරුවාගේ පුංචි බංඩිය පිරෙන්න මව්කිරි නොලැබීමට ප්‍රධාන වශයෙන් බලපාන කරුණක් තමයි ,ඔබ දරුවාට මව්කිරි දීමේදී දරුවා තබාගෙන තිබෙන ඉරියව්වේ නිවැරැදි නොවීම.
දරුවාට නිසි ලෙස කිරි ලබා දීමට නම්
• මව්කිරි දීමේදී ඔබට පෙර සූදානමක් තිබිය යුතුවා සේම දරුවාටද මව්කිරි උරා බීමට පෙර සූදානමක් තිබිය යුතුයි.
මුලින්ම ඔබ දරුවාට කිරි දීමට සුදානම් වීමට පෙර පෝෂ්‍යදායි ආහාරයක් ලබාගෙන ශරීරී කෘත්‍යයන් කර, පිරිසිදු වී, හොදින් වතුර බී, කොණ්ඩය පීරා ගැටගසා, මනස හා කය නිදහස්ව තබා ගනිමින් ඉතාමත් සැහැලුවෙන් සිටීම මුලින්ම කළ යුතු වෙනවා. එහෙම නැතිව මව්කිරි දෙන විට ඔබට දහඩිය දමයි නම්, බඩගිනි වෙනවා නම් , පිපාසය දැනෙන්නේ නම්, වැසිකිළියට යාමට අවශ්‍ය වෙනවා නම් ඔබට මව්කිරි දීම අනිවාර්යයෙන්ම වදයක් වෙනවා. ඔබට ඇතිවන මේ සෘණාත්මක සිතුවිලි හේතුවෙන් අවශ්‍ය තරම් මව්කිරි නිපදවීමක් සිදුනොවේ. මෙය දරුවාගේ කායික වර්ධනයට බෙහෙවින්ම බලපාන ප්‍රශ්නයක් බවට පත්වෙනවා.
• මව්කිරි දීමට පෙර මව නිවැරදි ඉරියව්වෙන් සිටීම අනිවාර්යයි.
දරුවා බොහෝ වේලාවක් මව්කිරි උරා බොන නිසා මව දවසේ බොහෝ වේලාවක් වැරදි ඉරියව්වෙන් සිටීමෙන් දීර්ඝ කාලයක් පුරා මව විවිධ රෝගාබාධයන්ට ගොදුරු විය හැකියි. විශේෂයෙන්ම කොන්ද ආශ්‍රිතව හා උරහිස ආශ්‍රිතව ඇතිවන වේදනාකාරි තත්ත්වයන් හා නොයෙකුත් අපහසුතාවන් මතුවෙන්න පටන් ගන්න පුලුවන්.
මේ නිසා ඔබගේ කොඳුඇට පෙළ නැතිනම් කශේරුකාව කෙලින් සිටින සේ වාඩිවිය හැකි ඇඳි පුටුවක් දරුවාට කිරි ලබා දීම සඳහා තෝරා ගන්න. එය ඔබේ අත පහසුවෙන් තබා ගත හැකි ආකාරයේ ඇඳි පුටුවක් වීමද වැදගත්. ඉන්පසු හොඳින් කොන්ද කෙලින් සිටින සේ වාඩි වී ඔබේ අත ඇඳි මත තබා ගෙන සුවපහසු ලෙස වාඩිවීම වැදගත්.
• දරුවා මව්කිරි බීමට සූදානමක් තිබිය යුතුයි.
ඔබ මව්කිරි දීමට සූදානම් වුවත් පුංචි පැටියා මව්කිරි බීමට සූදානම් නැති නම් මව්කිරි ලබා දීමට නොහැකියි. චූටියාට මව්කිරි අවශ්‍ය වන්නේ බංඩිය හිස්වුණාමයි.
චූටි පැටියාගේ බංඩිය හිස්වෙලාද? නැතිනම් බඩගිනි වෙලාද කියලා ඔබට නිවැරදිව හඳුනා ගත හැකි ලක්ෂණයක් තමයි පැටියාගේ ඇඬීම. පැටියා බඩගිනි වී අඬන විට දරුවාට කිරි දීමට සූදානම් වන්න.
කිරි දීමට පෙර දරුවා මළපහ පිටවී ඇත්නම් හා මුත්‍රා පිට වී ඇත්නම් ඒවා පිරිසිදු කර පහසු ඇඳුමක් අන්දවා ගත යුතුයි. නව ජන්මියෙක් නම් හොදින් ඔතා ගත යුතු වෙනවා.
• දරුවා තනපුඩුවට යොමුකර තිබෙන ඉරියව්ව සෑම විටම නිවැරැදි විය යුතුයි.
පැටියාව පියයුරට සම්බන්ධ කිරීමට පෙර ඔබගේ උකුල මත සැහැල්ලු කොට්ටයක් තබා ගන්න. ඒ ඔබගේ අතට වාරුවක් ලෙස අතට අපහසුවක් නොදැනෙන්න චූටි පැටියාව පියයුරට සම්බන්ධ කර ගැනීමේදී , කන, අත සහ කලවය එකම රේඛාවක සිටින සේ තමන් දෙසට හරවා ගත යුතුයි. මෙය ඉතා ආදරයෙන්, සෙනෙහසින් කළ යුතුයි. මෙහිදී පැටියාගේ හිස, ඔබගේ දකුණු අත නැවූ පසුව වැලමිට උඩින් සිටින සේ තබා ගෙන අල්ල මත චූටියාගේ තට්ටම සිටින සේ තබා ඔබගේ පැත්තට සිඟිත්තාව හරවා ගන්න.
මීට අමතරව තවත් ඉරියව්වක් තිබෙනවා. ඒ තමයි එක් අතක වැලමිට නමා එම වැලමිටට පැටියාගේ තට්ටම තද කරගෙන (සෙමින්) පැටියාගේ බෙල්ල වටේ අතක් යවමින් අල්ලාගෙන පහසුවෙන් කිරි දිය හැකිය. එවිට නිදහස්ව ඇති අනික් අතින් දරුවාගේ හිස අතගාමින් දරුවාගේ මුහුණ බලාගෙන ආදරයෙන් කතා කරමින් කිරිදෙන්න ඔබට පුලුවන්.
ඔබට ඉන්නේ නිවුන් දරුවෝ නම් කිරි දීමේදී පැංචන්ව කිහිල්ලට යටින් පියයුරුට සම්බන්ධ කර ගනිමින් කිරි දීම ආරම්භ කළ හැකිය. මෙහිදී ඔබගේ අතට යම් ආධාරකයක් අවශ්‍ය නම් ඒ සඳහා කොට්ටයක් හෝ ඇඳි පුටුවක් භාවිත කරන්නට පුලුවන්.
දරුවා ඔබේ පියයුරු සමග නිසි ලෙස සම්බන්ධ වී ඇති බව හඳුනා ගත හැකි ලක්ෂණ
පැටියාට කිරිලබාදෙන විනාඩි 20ක කාලය තුල පැටියාගේ තිබහට ඕන කරන කිරිටික ලැබෙන්නේ මුල් විනාඩි 10 තුලදීයී. ඒ බව ඔබ හොඳින් දැන සිටිය යුතුයි. මුල් විනාඩි 10 තුළදී වේගයෙන් කිරි උරා බිව් දරුවා ඊළඟ විනාඩි 10 තුළදී කිරි බොන්නේ ඉතාමත් සෙමින් නතර කරමින්. මොකද මේ කිරි ටික පෝෂ්‍ය පදාර්ථයන්ගෙන් පොහොසත් නිසාම ඝනකමින් යුක්තයි. මේ අවසාන විනාඩි 10 තුලදී ගලාඑන කිරිටිකෙන් තමයි පැටියාව රෝගවලින් ආරක්ෂා කරන්නේ. බර වැඩිකරන්නේ.
එක පියයුරකින් විනාඩි 20 ක් …
බොහෝ මව්වරුන් පැටියාට කිරි දීමේදී එක පියයුරකින් විනාඩි 10ක් දී ඊලග පියයුරෙන් තවත් විනාඩි 10ක් දී පැටියාට විනාඩි 20ක් කිරි දෙනවා නමුත් පැටියාගේ බර වැඩිවීමක් වෙලා නැහැ කියනවා. ඒ කියන්නේ මේ අම්මා පැටියාට විනාඩි 10 , 10 බැගින් දී තියෙන්නේ තිබහට ඕන කරන කිරි ටික විතරයි. මෙතැනදී විශේෂයෙන්ම අපේ බොහෝමයක් මව්වරුන්ට ඔවුන්ගේ වැඩිහිටියන් කියන දෙයක් තමයි දරුවාට දෙපැත්තෙන්ම කිරිටික දෙන්න කියලා. ඒ නිසාම තරුණ මව්වරුන් විනාඩි 10 බැගින් පියයුරු දෙකට සම්බන්ධ කර ගන්න උත්සහ කරනවා. මේක වැරදි පණිවිඩයක්.
පුංචි පැටියට බඩ පිරෙන්න කිරි ලැබිලා නම්..
පැටියාට එක් පියයුරකින් විනාඩි 20ක් පුරා කිරි දුන්නේ නම් ඒ පැටියා පැය 2 ½ – 3 අතර කාලයක් සුවසේ නිදා ගන්නවා.
මෙසේ නිවැරදිව කිරි පෙව්න පැටියෙකුට හොඳින් මුත්‍රා පිටවීම , මළ පිටවීම සිදුවන්නක්.
මාසයක් පමණ ගතවීමේදී බර කිරා බැලූ විට පැටියාගේ බර හොඳින් වැඩිවී තිබෙනවා.
ඉතින් මවක් ලෙස නිවැරදි ඉරියව්වෙන් හොඳ සම්බන්ධතාවයක් දරුපැටියා සමග පවත්වා ගනිමින් දරුපැටියාගේ කුස පිරෙන්න මව්කිරි ලබා දීම ඔබේ වගකීමක් .
නමුත් මෙහිදී වැදගත්ම කාරණය දරුවාට හරියට කිරි පෙවෙන්නෙ නෑ කියල ඔබ අනවශ්‍ය මානසික පීඩාවකට පත් වීම නොවෙයි, මව්කිරි ලබා දීමේ යම් ගැටලුවක් ඇති බව ඔබට දැනෙනව නම් ඔබේ ගමේ සායනයේන්, දරවාගේ වෙද්‍යවරයාගෙන් හෝ මව්කිරි කළමනාකරණය සම්බන්ධ සුවිශේෂී වෙද්‍යවරයෙක් ගෙන් නිසි මගපෙන්වීම ලබා ගෙන මේ ගැටලුව නිවැරැදි කර ගැනීමයි. මේ තුළින් දරුවාට කිරි ලබා දෙන වේලාව සතුටුදායක අත්දැකීමක් බවටත්, දරුවා සමග හොඳ සබඳතාවයක් වර්ධනය කර ගැනීමට අවස්ථාවක් ලෙසත් පත් කර ගන්න පුලුවන් .
පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීනී
නිලුක්ෂි තිලකසිරි
මනෝ උපදේශක සහ මනෝචිකිත්සක
සටහන – ශ්‍රියානි විජේසිංහ

- පැටියා නිවැරදිව පියයුරට සම්බන්ධ වී තිබෙන්නේ නම් පැටියාගේ කට “ආ” හැඩයෙන් විවෘතව තිබිය යුතුයි.
- ඒ වගේම ඔබගේ පියයුරේ කළු පැහැ කොටස හෙවත් “ඇරියුලාව” වැඩි කොටසක් පැටියාගේ කට ඇතුලට ගිහින් තිබිය යුතුයි. මව්කිරි ඇත්තේ තනපුඩුවේ නොවේ තනමඩලේය. එසේම කිරිබොන විටදී මුවින් ශබ්දයක් පිටවන්නේ නම් නැතහොත් ශබ්ද නගමින් කිරී බොනවා නම් පැටියා නිවැරදිව පියයුරට සම්බන්ධ වී නොමැත. ගැඹුරින් නවතමින් සෙමින් විවේක ගනිමින් පැටියා කිරා උරා බොයි නම් පැටියා නිවැරදිව පියයුරට සම්බන්ධ වී තිබෙනවා.
- මෙවැනි පැටියන්ගේ කම්මුල් පිටතට පිම්බේ.
